පැලැස්ස
Thursday, December 10, 2015
අරුණැලි සමඟ හිනැහෙන ඉසුරුපිරි සොදුරු කොදෙව්ව ඩෙල්ෆ්
කෑලි කැපිය හැකි නිල් පැහැ ජෙලි තට්ටුවක සිරිගන්නා සිඳු දියවර දිග ඇදී යන මුහුදු අඟුලේ ඉදිරි කෙලවරේ මිටි දිගු බංකුවේ හිද ක්සිතිජ රේඛාව දෙස බලා හිදින්නකුට මා සිටින්නේ මහා මුහුදේ මධ්‍යයේ නොවේද” යන හැගීම නොදැනෙන්නේ නම් ඔහු අසංවේදී අසංවර හිතකට හිමිකම් කියන නාවුක මගියෙකි. පුංචි තිතක්ව ඈතින් පෙනෙන නාගදීපයත් ඉදහිට සල්ලාල විනෝද ගමනක යෙදෙන මුහුදුලිහිණි රංචුවකුත් හැර හතර දිගම පාළු නීලහරිත පලයක සිරි ගනිි. කුරිකඞ්ඩුවාන් ජැටියෙන් ගමන අරඹා දැන් විනාඩි විසි දෙකක් ගෙවී ගොසිනි. මුහුදු අඟුලේ පැටවුණු සෙවිලි තහඩුල සිමෙන්ති කොට්ටල මෝටර් බයිසිකල් යකඩ බට හාල් මුට්ටල භූමිතෙල් ටැංකි අතර තැන උස්ව නැගුණු මිටි බංකු මත ඔහේ කල්පනා කරමින් යන්නන් අතර මම ද පරිසර භාවනායෝගියෙකුව හිදිමි.
Friday, October 30, 2015
අඩි 4500ක් පහල ඉර පායන්නැති හුදෙකලා ගම්මානය
අසීරු ගමන් මග |
පොළොස් මල්ල හිසින් ගත් කරුෙණ අයියා කොහොනාවලින් ගමන්අරඹන්නේ උදේ තුනහමාරටය. කිලෝමීටර දොළහමාරක දුෂ්කර කඳුකර මඟ ගෙවා උදෑසනට කලියෙන්ම මඩොල්සිමට ළඟාවීම ඔහුගේ බලාපොරොත්තුවයි. පවුලක පැතුම් හිස බර දරාගෙන හෙතෙම වන බුටැවන් මැද්දෙන් කළුවරේම කන්ද බඩගාන්නේ තනිපංගලමේය. කුඩා කල සිටම තමන්ගේ පයට ගෙවුණු රළු ගල් බොරළු පාර කරුණෙ අයියාට හොඳට හුරුය. කරුණෙ අයියා පමණක් නොව, කොහොනාවල නම් හුදෙකලා ගම්මානයේ වෙසෙන බොහෝ ගැමියන් තම තමන්ගේ කුඩා ගෙවත්තේ ඵලදාව එක්කරගනිමින් දෛනිකව මඩොල්සිමට පැමිණෙති. පොළොස් ගැටයක්, වරක ඉරුවක්, කිරිඅල මුලක් හෝ කැලෑ කොළ මිටියක් රැගෙන කඳුකර මාවතේ කිලෝමීටර දොළහක දුර පාගමනින් යන මේ වැසියෝ එදා දවසේ ජීවිතය සැලසුම් කරන්නේ තම තමාට එදිනෙදා ලැබෙන මුදල මතය.කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවන වෘත්තිය කොටගත් කොහොනාවල ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම නගරයට කිලෝමීටර දොළහක දුරිනි. ප්‍රධාන නගරයේ සිට මඩොල්සිම තේ වතුයාය හරහා වැටී ඇති දුෂ්කර පටු දිගු කඳුකර මාවතෙහි පා ගමනින් පමණක් ළඟාවිය හැකි මෙම ගම්මානය අතිශය සුන්දර ස්වයංපෝෂිත දිවියක් ගතකරන ගැමියන්ගෙන් සැදුම්ලත් එකකි. තම තමන්ගේ කුඩා ගොවිබිම්වලින් නෙළාගන්නා ඵලදාව රැගෙන දිනපතාම මේ අවිහිංසක ගැමියෝ කිලෝමීටර දොළහක ගිරි මඟ තරණය කරති. ඔසවාගත හැකි උපරිම බර හිසමත දරාගනිමින් ගමන අරඹන ඔවුහු මඩොල්සිමදී ඉල්ලන මිලට තම අස්වැන්න විකුණා නැවත ගමට පැමිණෙන්නේ ෂොපින් උරයක දමාගත් බඩු ස්වල්පයක්ද අතැතිවය. ඔවුන්ගේ දෛනික ජීවිතයේ පැය හතක් ගෙවෙන්නේ ගමනටය. එතරම් දුෂ්කර ගමනක් ගතවන දිනයේ අවසානයේ ඔවුන් උපයන මුදල උපරිම වශයෙන් රුපියල් පන්සියයට වැඩි නැත. තමාගේ එදාවේල සරිකරගන්නා මේ ස්වයංපෝෂිත ගමෙහි සුන්දර මිනිසුන් නැවත ගම්වදින්නේ හැන්දෑව ද දෝත දරාය.
Thursday, October 15, 2015
ආදිවාසීන්ගේ අරුම පුදුම පුළුන් පෙරහර
මොර බැද්ද පසුකොට මහා වනයට වැදි දෙමටා තත්ත්පරයක ඇසිල්ලෙන් කොළොන් ගසෙහි ඉහළම අත්තට බඩගෑවේය. ගෙදර යන්නා වැනි ගමනින් ගසට බඩගෑ හෙතෙම එතැනින් බසා හරි කෙළින් අහස තෙක් නැඟී හිඳි කොළොන් ළී තෝරන්නට පටන් ගත්තේය. තෝරාගත් කොළොං ලීය එක් පොරව පහරකින් කපා ලූ කැකුලා ගසෙන් බැද්දට පැන්නා මිස බැස්සේ නම් නැත. පොරෝ කැටිය උරයේ රුවාගත් දෙමටා කැකුලා මෙන්ම බොහෝ කැකුළෝ මෙහේ වනවැදුණේ ඇද නැති කොළොන් ලී සෙවීමටය. කපාගත් ලී දඬු ශක්තිමත් උරබාහුවට තද කොටගත් මේ කැකුළන් නඩය නැවත මොරබැද්දට ගෑටුවේ ඉර හැරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය.
Thursday, September 10, 2015
අපේ හාමුදුරුවන්ගේ වීර්ය පාරමිතාව
Friday, June 5, 2015
ගිනස් පොතට ගිය ලංකාවේ මුල්ම නිළිය
මාලිනී රණසිංහ
මා ඇය වේදිකාවේ රඟනු කෙදිනක හෝ දැක නැත. නමුදු ඇල්පිටිය රූපා කරුණාතිලක රඟහලේ නිතර නාට්‍ය බලන්නට යාම පුරුද්දක් කොට ගත් තාත්තා ඇගේ නම කිහිප වරක්ම කියනු මා අසා තිබුණි. ‘සිංහබාහු’ යන නම සමඟ මහැඳුරු සරච්චන්ද්‍රයන්ගේ රන් නාමය කියැවෙන සෑම විටදීම කොතැනක හෝ ඇයගේ නම කියවෙනු ද මම කිහිප විටක්ම දුටිමි. ඇයගේ නම සමඟම ටෙරන්ස් රණසිංහ (ටෙරී) යන නම ද නිරතුරුවම බැඳුණු බව ඇසුණු කතාවලට අනුව මට මතකය.Tuesday, January 7, 2014
දමිතා අබේරත්න සීගිරියේ මතක අතර
ඒ ආදරයේ උණුසුම මට තවමත් දැනෙනවා
සේයාරුව - ටෙනිසන් එදිරිසිංහ |
ඈ කවුරුත් එකලෙස ආදරය කරන දමිතා අබේරත්න ය. රංගන ලොවට පමණක් නොව මුළු කලා
ලොවටම දිදුලන සුපුන් සඳක් සේ වැජඹෙන දමිතා පිළිබඳ මේ දිනවල වැඩිවශයෙන් කතාබහට
ලක්වෙන්නේ ‘සසර සරණී’ ටෙලි නාට්‍යය නිසාමය. නිළියක ලෙස ප්‍රතිභාව පෑ දමිතා සසර සරණී හරහා
අධ්‍යක්ෂණයේ සුබ නව මං පෙතකට පිවිස සිටින්නීය. සසර සරණී නරඹන සැමට දමිතාගේ අදියුරුකම්
හි ඇති ප්‍රතිභාව පිළිබඳ නැවත නැවතත් කිවයුතු නොවේ.
අප සැමදා කතා බහ කරන්නේ දමිතා අබේරත්ත නම්වන නිළිය සමඟය, නැතහොත් ගායිකාව සමඟය.
අද අප හමුවන්නේ දමිතා අබේරත්න නම් අධ්‍යක්ෂවරියයි.
Tuesday, December 31, 2013
දෙකයි පනහෙ කොම්පැණි එක්ක මගේ ඩීල් නැහැ සුරංග ද අල්විස් උණුසුම් වෙයි
තමන් නිර්මාණය කළ පළමු චිත්‍රපටයෙන්ම ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගැනීමටත් ක්ෂේත්‍රයේ ඇතැමුන්ගේ විවිධ තාඩන පීඩනවලට ලක්වීමටත් ඔහුට සිදු වුණා. කුඩා කල සිටම කලා පරිසරයක හැදී වැඩුණු නිසාම ඒ සියලු තාඩන පීඩන ඔහුට ගෙන ආවේ අධි ශක්තියක්. බොහෝ තැන්වලදී තමාගේ අදහස් සෘජුව ප්‍රකාශ කරන හෙතෙම විවිධ කෝණ හරහා ප්‍රශ්න දැක දැන ඒවාට විසඳුම් සොයන තරුණ්‍යයේ ජවයෙන් පිරිපුන් චරිතයක්. ඔහු සුරංග ද අල්විස්.මේ දිනවල අති සාර්ථකව තිරගත වන ‘රජ හොරු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුරංග ද අල්විස් සමඟ සරසවිය කළ සෘජු උණුසුම් කතාබහකි මේ.
Subscribe to:
Posts (Atom)