Friday, October 30, 2015

අඩි 4500ක් පහල ඉර පායන්නැති හුදෙකලා ගම්මානය


අසීරු ගමන් මග



පොළොස් මල්ල හිසින් ගත් කරු‍ෙණ අයියා කොහොනාවලින් ගමන්අරඹන්නේ උදේ තුනහමාරටය. කිලෝමීටර දොළහමාරක දුෂ්කර කඳුකර මඟ ගෙවා උදෑසනට කලියෙන්ම මඩොල්සිමට ළඟාවීම ඔහුගේ බලාපොරොත්තුවයි. පවුලක පැතුම් හිස බර දරාගෙන හෙතෙම වන බුටැවන් මැද්දෙන් කළුවරේම කන්ද බඩගාන්නේ තනිපංගලමේය. කුඩා කල සිටම තමන්ගේ පයට ගෙවුණු රළු ගල් බොරළු පාර කරුණෙ අයියාට හොඳට හුරුය. කරුණෙ අයියා පමණක් නොව, කොහොනාවල නම් හුදෙකලා ගම්මානයේ වෙසෙන බොහෝ ගැමියන් තම තමන්ගේ කුඩා ගෙවත්තේ ඵලදාව එක්කරගනිමින් දෛනිකව මඩොල්සිමට පැමිණෙති. පොළොස් ගැටයක්, වරක ඉරුවක්, කිරිඅල මුලක් හෝ කැලෑ කොළ මිටියක් රැගෙන කඳුකර මාවතේ කිලෝමීටර දොළහක දුර පාගමනින් යන මේ වැසියෝ එදා දවසේ ජීවිතය සැලසුම් කරන්නේ තම තමාට එදිනෙදා ලැබෙන මුදල මතය.කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවන වෘත්තිය කොටගත් කොහොනාවල ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම නගරයට කිලෝමීටර දොළහක දුරිනි. ප්‍රධාන නගරයේ සිට මඩොල්සිම තේ වතුයාය හරහා වැටී ඇති දුෂ්කර පටු දිගු කඳුකර මාවතෙහි පා ගමනින් පමණක් ළඟාවිය හැකි මෙම ගම්මානය අතිශය සුන්දර ස්වයංපෝෂිත දිවියක් ගතකරන ගැමියන්ගෙන් සැදුම්ලත් එකකි. තම තමන්ගේ කුඩා ගොවිබිම්වලින් නෙළාගන්නා ඵලදාව රැගෙන දිනපතාම මේ අවිහිංසක ගැමියෝ කිලෝමීටර දොළහක ගිරි මඟ තරණය කරති. ඔසවාගත හැකි උපරිම බර හිසමත දරාගනිමින් ගමන අරඹන ඔවුහු මඩොල්සිමදී ඉල්ලන මිලට තම අස්වැන්න විකුණා නැවත ගමට පැමිණෙන්නේ ෂොපින් උරයක දමාගත් බඩු ස්වල්පයක්ද අතැතිවය. ඔවුන්ගේ දෛනික ජීවිතයේ පැය හතක් ගෙවෙන්නේ ගමනටය. එතරම් දුෂ්කර ගමනක් ගතවන දිනයේ අවසානයේ ඔවුන් උපයන මුදල උපරිම වශයෙන් රුපියල් පන්සියයට වැඩි නැත. තමාගේ එදාවේල සරිකරගන්නා මේ ස්වයංපෝෂිත ගමෙහි සුන්දර මිනිසුන් නැවත ගම්වදින්නේ හැන්දෑව ද දෝත දරාය.


දිනෙන් දින දියුණුවනවායයි බලධාරීන් දිවුරමින් පාරම්බාන අපේ රටේ මෙවැනි හුදෙකළා ගම්මානයක් පිහිටා ඇති වග කියන විටද ඔබ තිගැස්සෙනු නො අනුමානය. පවුල් හතළිස් අටක, පරම්පරා තුනක, හාරසියයකට නො වැඩි ජනගහනයකින් සැදුම්ලත් මේ සුන්දර එහෙත් දුෂ්කර ගම්මානයට ප්‍රවේශ මාර්ග දෙකකි. ඉන් බහුලව භාවිතවන මඩොල්සිම තෙක් වැටී ඇති අඩිපාර කිසිඳු මොහොතක සංවර්ධනය කළ නොහැකි ස්වභාවික බාධකවලින් යුතුය. නමුත් මේ ගමට පැමිණීමට ගැමියන් භාවිත කරනු ලබන අනෙක් මඟ වන කහටරුප්පෙ මාර්ගය මීට කලකට ඉහතදී සකසන ලද්දකි. දැනට කඳුකර අඩිපාරටත් වඩා අබලන් ව ඇති මේ මාර්ගය කහටරුප්පෙ මාර්ගය මීට කලකට ඉහතදී සකසන ලද්දකි. දැනට කඳුකර අඩිපාරටත් වඩා අබලන් ව ඇති මේ මාර්ගය කහටරුප්පේ සිට පැමිණ ලොග්ගල්ලාඔයෙහි එක් ඉවුරකින් අවසන් වේ. අනෙක් කෙළවර ඇරඹෙන්නේ ලොග්ගල් ඔයෙහි ප්‍රතිවිරුද්ධ ඉවුරෙනි. දෙපසින් ගං ඉවුරු දෙක දක්වා මාර්ගය ඉදිකළද බලධාරින් මෙන්ම උගත් ඉංජිනේරුවන් ගං ඉවුරු දෙක යා කරමින් පාලමක් ඉදිනොකිරීම හාස්‍ය දනවන කාරණාවකි.



වසරේ අට මසක් පමණ මහවනයට පතිතවන වැස්සෙන් පෝෂණය වන ලොග්ගල් ඔය උතුරා පිටාර ගලන කාලයට මේ ගැමියන් ගං ඉවුරට වී එගොඩට යාමට මඟක් සොයති. දූපතක තනිවූ පිරිසකට අත්වන අවාසනාවන්ත ඉරණම ඔවුන් වසරේ මාස අටක්ම දුකසේ ගෙවා දමති. පිහිනුම් සූරයෝ ජීවිතය පසෙකලා රළු ගඟ දිය සමඟ පොර අල්ලමින් සමාජයක්කාරයන්හි නිරතවන අතර අනෙක් සියලුදෙනාම ගං දැලේ හිද ගසාගෙන යන දල රළ දෙස බලා හිඳිති.

රෝහලක් හෝ ජංගම වෛද්‍ය මධ්‍යස්ථානයක්වත් නොමැති මේ ගම්මානයේ අයකු අසනීපවුවහොත් එක්කෝ කඳු නැඟ මඩොල්සිමට යා යුතුය. නැතහොත් ගඟ තරණයකොට කහටරුප්පෙ නගරයට යා යුතුය. උණ ගසක බැඳි පුටුවක ආධාරයෙන් රෝගියා වෛද්‍යවරයකු වෙත ගෙනයාමට අවම වශයෙන් ඔවුනට පැය හතරකට නොඅඩු කාලයක් ගත වෙයි. මේ ඒ ගමේ හැටිය. පහ වසර තෙක් පන්ති පැවැත්වෙන ගමේ පාසල දරුවන්ට සුවිසල් දැනුම හෙවණක් තනාදී ඇත්තේ විදුහල්පතිවරයාට පින්සිදුවන්නටය. පහ වසරින් පසුව මේ දරුවන් යායුත්තේ කහටරුප්පෙ නගරයේ පාසලටය. එය අතිශය දුෂ්කර ගමනකි‍.

“පහ වසරෙන් පස්සෙ අපි යන්නෙ කහටරුප්පෙ ඉස්කෝලෙට. ගමෙන් උදේ පහට පිටත්වෙන්න ඕන. කිලෝමීටර දොළහක් විතර පයින් තමයි යන්නෙ. ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකොට හතරහමාර විතර වෙනවා. ඔ‍ෙය් වතුර වැඩි දවසට ඉස්කෝලෙ යන්න බැහැ. මාස අටක් විතර ඔය පිරෙනවා. ඒ දවසට කන්ද පාරෙන් මඩොල්සිමට ගිහිං තමයි ඉස්කෝලෙ යන්නෙ. එතකොට උදේ හතරට විතර යන්න වෙනවා. ඉස්කෝලෙ ගිහිං ගෙදර එනකොට රෑ වෙලා. පාඩමක් කරගන්න වෙලාවක් ඉතිරිවෙන්නෙ නැහැ. අපිට තවමත් ලයිට් නැති නිසා තාක්ෂණික උපකරණ ආශ්‍රයෙන් ලෝකයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් නැහැ. ඇත්තමට කහටරුප්පේ පාලම වැටුණොත් මේ හැම ප්‍රශ්නයක්ම විසඳිලා අපේ අනාගතය පැහැබර වේවි.

කොහොනාවල ගම්මානයේ පාසල් ශිෂ්‍යාවක වන ප්‍රියංගනී පවසන්නේ සංවේගය උතුරා පිටාර ගලන කතාවක්ය. පාසල් බසය නිවෙස අසලට පැමිණ පාසල් ගේට්ටුව ඉදිරියෙන්ම දරුවා බස්සන නාගරික සමාජයට මේ කතා මැජික් මෙන් වුවද මේ දරුවාගේ කතාවේ ඇත්තේ ග්‍රාමීය අධ්‍යාපනයේ හා යටිතල පහසුකම් පිළිබඳ බලධාරින්ගේ අවිධිමත් ක්‍රියා පිළිවෙතයි.

කොහොනාවල හුදෙකලා දුෂ්කර ගම්මානයක් වුවද මේ ගමෙහි කටුමැටි බිත්තියෙන් යුතු ගෙවල් කිසිවක් දක්නට නොලැබේ. කොතරම් ආර්ථික අපහසුතා තිබුණද, ගැහැට සමඟ ගැටෙමින් දුක සමඟ පොරබදිමින් බාධකවලට බාධා පමුණුවමින් ඔවුන් දියුණුවන ලොව සමඟ ස්වංපෝෂිතව නැඟී සිටීමට උත්සාහ ගනිති. ඔවුන් ආධාර නොඉල්ලති. පින් පඩි නො අයදිති. රජයේ රස්සා ඉල්ලා නොයති. ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලන එකම දෙය ලොග්ගල්ලා ඔය යා කරමින් පාලමකි.

“අපි දන්න කාලෙ ඉඳලම පාලම හදන්න කණ්ඩායම් ආව ගියා. අපිත් දරදිය ඇද්ද. කැණීම් කරනව කිව්වා. කණු මාර්ක් කරනව කිව්ව. ඔන්න ආව මෙන්න ආව වගේ තිබුණු පාලම කවදාවත් හැදුනෙ නං නෑ. එන හැමෝම කියන්නෙ මේකට සල්ලි පාස්වෙලා තියෙන්නෙ කියල. මේ සල්ලි බහිරවය ගිලිනවද මන්ද. අපිට ආණ්ඩුවෙන් කියල වෙන සතයක දෙයක් එපා.මේ පාලම හදල දුන්නොත් නැඟිටින්නෙ ‍ෙකාහොමද කියල අපි දන්නවා.

චන්ද්‍රපාල පවසන්නේ තම උපන්ගම ගැනත් ඥාතීන් ගැනත් අභිමානයෙනි. මේ ගමෙහි වෙසෙන සියලු දෙනා ඥාතීන්ය. “රන්පත් මුදියන්සේලාගේ” පරම්පරාව ගම පුරා පැතිරී වෙසෙති. ඔවුනොවුන් එකමුතුවෙන් වගා දිගා කරගත් කිසිවක් මිල කරන්නට

“අපි මේ රත්තරන් පොළොවත් එක්ක ඔට්ටුවෙලා මොනව හරි වගා කරනවා. මේ ගම හරිම සශ්‍රිකයි. අඹ වාරෙට අඹ,‍ කොස් කාලෙට කොස්, එළවළුත් ඕන දෙයක් දෙයියනේ කියල වැවෙනවා‍. ඒත් ඉතිං හිස බරින් ගෙනයන්න පුළුවන් ප්‍රමාණ තමයි ගෙනියන්න ඇහැකි. අඹ කාලෙට ගෙඩිය රැපියලටත් දෙන්න වෙනවා. අඹ ගෙඩි පනහක් ඔළුවෙ තියං මඩොල්සිමට හරි කහටරුප්පෙට හරි ගියොත් රුපියල් පනහයි. ආයෙ ගේන්නද? ඔන්න ඔ‍ෙහ් දීල අත්දෙක වන වන ගෙදර එනවා. පහුවදාටත් ඔය ටිකම තමයි. අඹ වාරෙට ගස්යට දවසට ගෙඩි සියගණං වැටිල කුණු වෙනවා. කොස්වාරෙටත් වැඩිහරිය අහක. පාලමක් තිබුණානම් අපේ ගමට ලොරි එයි. හොඳ මිලක් අපට ගෙවල බඩු අරන් යයි. අපට වගා කරගන්න කාලෙත් ඉතිරිවෙයි.

සෝමාවතීගේ හැඟුම්බර හඬ නිමාවූයේ එලෙසිනි.

අඹ ගෙඩි පනහක් හිසබරින් ගෙන කිලෝමීටර පහළොවක් රැගෙන ගොස් රුපියල් පනහකට විකුණා ඒම කොතරම් ශෝකජනක කතාවක්ද? එය සැබෑවකි. එමෙන්ම ඔවුන් තමන්ට අවශ්‍ය සියලුම දෑ නැවත ගමට රැගෙන එන්නේද හිසබරිනි. සිමෙන්ති, උළු, වැලි, යකඩ වැනි සියල්ලද රැගෙන ආ යුත්තේ හිස බරිනි. මේ පාලමක් නැති කමෙන් ලද ශාපයකි.
“ගෙයක් හදාගන්න සිමෙන්ති කොට්ටෙ ඉඳල වැලි කැටේ දක්වාම ගේන්නෙ හිස බරින්. සිමෙන්ති මිටිය කඩල හතර කොටසකට තමයි කිලෝ මීටර පහළොව අදින්නෙ. සල්ලි හොයන්නත් පණ යනවා. ගෙවල් හදන්නත් නැහෙන්න වෙනවා. මේක තමයි තත්ත්වෙ. අනේ මන්ද අපට කවදා පාලමක් හිමිවේවිද කියල.
කඳු දෙබොක්කාවේදී සිමෙන්ති උර කාලක් හිසමත තබාගනිමින් ගං මණ්ඩියට එන විටෙදී අපට හමුවූ ප්‍රියන්තිගේ හඬ බලාපොරොත්තු විරහිතය. වසර ගණනාවක් බලධාරින්ට කන්නලව් කළ මේ වැසියනට බලධාරීන් කෙරෙහි ඇත්තේ විශ්වාස භංගත්වයකි.

ගඟ සිඳුණු මොහොතක හැර වාහනයක් පැමිණිය නොහැකි මේ ගම්මානයේ දැනුදු නියම වාහනයක් දක්නට ‍ෙනාලැබේ. මංමාවත් නොමැති ගමකට වාහනයක හෝ පාපැදියකවත් අවශ්‍යතාවයක් නොදැනේ. විශ්ව ගම්මාන සමඟ ගනුදෙණු කරන්නට අප සැරසෙන මොහොතක ඔවුන් පතන්නේ ගමට එන්නට පාරකි. පාලමකි.

“මං ගමේ ඉස්කෝලෙන් අධ්‍යාපනය ලබලා ගැමුණු මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබල පෙර පාසල් ගුරුවරියක් විදියට සේවය කරනවා. පරම්පරා ගණනක් ගෙවිලත් මේ ගමට කිසිදු බලධාරියෙක් අවධානය යොමු කරල නැහැ. අපේ ගමේ දරුවන්ට පරිගණක කියන්නෙ හීන ලෝකයක්. මං හිතන්නෙ මේ ගම ගැන බලධාරීන් තවමත් හරියට නොදන්නව ඇති. අපේ ගමේ දරුවන් නගරෙ දරුවන් උත්තර ලියන්නෙ එකම විභාග ප්‍රශ්න පත්‍රයට. ඔවුන්ට තියෙන අවම පහසුකමවත් අපේ නංගිල මල්ලිලට නෑ. ඉතිං කොහොමද මේ ගමේ දරුවන්ගෙ අධ්‍යාපනය නංවන්නෙ‍, අපේ ගමේ දරුවො හැමදාම එකම තැන. ඉගෙනගන්න කිසිම උත්තේජණයක් මේ දරුවන්ට නෑ. මට කියන්න තියෙන්නෙ ඉදිරි පරම්පරාවට නූතන ලෝකයට යන්න මේ පාලම හදල දෙන්න කියල.

පෙර පාසල් ගුරුවරියක වන ධම්මිකා කතාව අතරතුර මෙනෙහි කරන්නේ තමා අධ්‍යාපනය ලබන්නට ගත් වීරිය ගැනය.

මේ ගම් පෙදෙසෙහි සෑම තැනම වෙසෙන අව්‍යාජ නිරහංකාර අහිංසක ගැමියන් සියලුදෙනාට එක හඬින් ඉල්ලා සිටින්නේ ගඟට පාලමකි. පරම්පරා ගණනක අත්දැකීම් සපිරි හීන් බණ්ඩා මාමාද, සෝමපාල මෙන්ම ගුණපාලද අප සමඟ කතා කරන්නේ කිසිවකුත් ගැන නොව, පාලමේ අර්බුදය ගැනය.
උදේ තුනහමාරටය. කිලෝමීටර දොළහමාරක දුෂ්කර කඳුකර මඟ ගෙවා උදෑසනට කලියෙන්ම මඩොල්සිමට ළඟාවීම ඔහුගේ බලාපොරොත්තුවයි. පවුලක පැතුම් හිස බර දරාගෙන හෙතෙම වන බුටැවන් මැද්දෙන් කළුවරේම කන්ද බඩගාන්නේ තනිපංගලමේය. කුඩා කල සිටම තමන්ගේ පයට ගෙවුණු රළු ගල් බොරළු පාර කරුණෙ අයියාට හොඳට හුරුය. කරුණෙ අයියා පමණක් නොව, කොහොනාවල නම් හුදෙකලා ගම්මානයේ වෙසෙන බොහෝ ගැමියන් තම තමන්ගේ කුඩා ගෙවත්තේ ඵලදාව එක්කරගනිමින් දෛනිකව මඩොල්සිමට පැමිණෙති. පොළොස් ගැටයක්, වරක ඉරුවක්, කිරිඅල මුලක් හෝ කැලෑ කොළ මිටියක් රැගෙන කඳුකර මාවතේ කිලෝමීටර දොළහක දුර පාගමනින් යන මේ වැසියෝ එදා දවසේ ජීවිතය සැලසුම් කරන්නේ තම තමාට එදිනෙදා ලැබෙන මුදල මතය.

ලොග්ගල් ඔය



“අපි දන්වන්න ඕන ඉහළම තැන්වලටත් මේ ගැන කියල ලියුම් දාල තියෙනවා”

ගුණපාල ලියුම් මිටිය අප වෙත දිගු කරමින් ඊට සාක්ෂි සපයයි. ජනාධිපති කාර්යාලයේ ශීර්ෂය සහිත ලිපි මල්ලක් ඔහු සතුය.

“‍‍මෙතනින් අතනට දානවා. අතනින් මෙතනට දානවා. අවුරුද්දකට වතාවක් කවුරුහරි නඩයක් එනවා මනිනවා. බලනවා. අද පටන්ගන්නව හෙට පටන්ගන්නව කියල යන්න යනවා. අවුරුදු ගාණක්ම මේ විදිහට අහිංසක අපි රැවටුණා. හෙටත් රැවටිලා ඉන්න වෙනවා. කාට කොහොම කිව්වත් මේ පාලමට බාලගිරි දෝෂෙ වගේ.

“අපේ ඉල්ලීමකට පාර හැදුවා. දැන් පාරත් හේදිලා අඩිපාරක් වෙලා. මේ මිනිස්සු දවසට කිලෝ මීටර් තිහක් විතර පයින් ඇවිදිනවා. ව්‍යායාම කරන්න නෙවෙයි ජීවිතේ ගැටගහන්න. කවුරු හරි මේ පාලම හදල දුන්නොත් පිං... එච්චරයි අපට කියන්න තියෙන්නෙ.”

අපි කාටවත් බරක් වෙලා නෑ. බරක් වෙන්නෙත් නෑ. වෙන මොනවත් අපි ඉල්ලන්නෙත් නෑ. අපට ඕනෙ පාලම විතරයි.


හැම දෙනාගේම ඉල්ලීම පාලමකි‍. මේ පාලම ඉදිවීමෙන් කහටරුප්ප - කිණිගම, ඌරුමීතැන්න , ඉළුක්ගොල්ල, පල්ලෙගම, සේරපිටිය, හිඟුර, පාළුවත්ත මෙන්ම කොහොනාවල ගමටද සෙත සැදෙනු නියතය.

මේ වනවිට හිඳීගිය ලොග්ගල් ඔය හරහා වැලි කොට්ට දමා ගැමියන් තැනූ තාවකාලික පාලමද දියවන්නට ආසන්නය. ඒ වැලිකොට්ට මතින් එහා මෙහා යන සිය ගණනකගේ ජීවිතවලට සැඟවී අතවනන මාරයාගේ සෙවණැලි වැටී ඇත. නොදරුවන් මෙන්ම මහල්ලන්ද මේ අනාරක්ෂිත ම‍ඟෙහි දිවා රෑ ගමන් කරති. මේ වැලි කොට්ට පාලමට ඇත්තේ තව කෙටි දිවියකි. නොබෝ දිනකින් ලොග්ගල්ලා ඔය දියෙන් පෝෂණය වූ විට මේ පාලමද ගැමියන්ගේ ජීවිත සිහින මෙන්ම දියවී විසිරී යනු ඇත.

බලධාරිනි....

ඔබ තුමන්ලාගේ අවධානය මේ වෙත යොමු කරන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

- චතුර ගීතනාත් බණ්ඩාර
- ඡායාරූප - සුසන්ත විජේගුණසේකර

ශීර්ෂ ප්‍රණාමය - මෙම දුක් ගැනවිල්ල පිළිබඳ අප පූර්ණව දැනුවත් කළ කොහොනාවල ශ්‍රී ධර්මාරාමාධිපති ඔලබොඩු‍ෙව් ධම්මානන්ද හිමියන්ට.




No comments:

Post a Comment