Thursday, December 10, 2015

අරුණැලි සමඟ හිනැහෙන ඉසුරුපිරි සොදුරු කොදෙව්ව ඩෙල්ෆ්









කෑලි කැපිය හැකි නිල් පැහැ ජෙලි තට්ටුවක සිරිගන්නා සිඳු දියවර දිග ඇදී යන මුහුදු අඟුලේ ඉදිරි කෙලවරේ මිටි දිගු බංකුවේ හිද ක්සිතිජ රේඛාව දෙස බලා හිදින්නකුට  මා සිටින්නේ මහා මුහුදේ මධ්‍යයේ නොවේද” යන හැගීම නොදැනෙන්නේ නම් ඔහු අසංවේදී  අසංවර හිතකට හිමිකම් කියන නාවුක මගියෙකි. පුංචි තිතක්ව ඈතින් පෙනෙන නාගදීපයත් ඉදහිට සල්ලාල විනෝද ගමනක යෙදෙන මුහුදුලිහිණි රංචුවකුත් හැර හතර දිගම පාළු නීලහරිත පලයක සිරි ගනිි. කුරිකඞ්ඩුවාන් ජැටියෙන් ගමන අරඹා දැන් විනාඩි විසි දෙකක් ගෙවී ගොසිනි. මුහුදු අඟුලේ පැටවුණු සෙවිලි තහඩුල සිමෙන්ති කොට්ටල මෝටර් බයිසිකල්  යකඩ බට හාල් මුට්ටල භූමිතෙල් ටැංකි අතර තැන උස්ව නැගුණු මිටි බංකු මත ඔහේ කල්පනා කරමින් යන්නන් අතර මම ද පරිසර භාවනායෝගියෙකුව හිදිමි.

Friday, October 30, 2015

අඩි 4500ක් පහල ඉර පායන්නැති හුදෙකලා ගම්මානය


අසීරු ගමන් මග



පොළොස් මල්ල හිසින් ගත් කරු‍ෙණ අයියා කොහොනාවලින් ගමන්අරඹන්නේ උදේ තුනහමාරටය. කිලෝමීටර දොළහමාරක දුෂ්කර කඳුකර මඟ ගෙවා උදෑසනට කලියෙන්ම මඩොල්සිමට ළඟාවීම ඔහුගේ බලාපොරොත්තුවයි. පවුලක පැතුම් හිස බර දරාගෙන හෙතෙම වන බුටැවන් මැද්දෙන් කළුවරේම කන්ද බඩගාන්නේ තනිපංගලමේය. කුඩා කල සිටම තමන්ගේ පයට ගෙවුණු රළු ගල් බොරළු පාර කරුණෙ අයියාට හොඳට හුරුය. කරුණෙ අයියා පමණක් නොව, කොහොනාවල නම් හුදෙකලා ගම්මානයේ වෙසෙන බොහෝ ගැමියන් තම තමන්ගේ කුඩා ගෙවත්තේ ඵලදාව එක්කරගනිමින් දෛනිකව මඩොල්සිමට පැමිණෙති. පොළොස් ගැටයක්, වරක ඉරුවක්, කිරිඅල මුලක් හෝ කැලෑ කොළ මිටියක් රැගෙන කඳුකර මාවතේ කිලෝමීටර දොළහක දුර පාගමනින් යන මේ වැසියෝ එදා දවසේ ජීවිතය සැලසුම් කරන්නේ තම තමාට එදිනෙදා ලැබෙන මුදල මතය.කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවන වෘත්තිය කොටගත් කොහොනාවල ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම නගරයට කිලෝමීටර දොළහක දුරිනි. ප්‍රධාන නගරයේ සිට මඩොල්සිම තේ වතුයාය හරහා වැටී ඇති දුෂ්කර පටු දිගු කඳුකර මාවතෙහි පා ගමනින් පමණක් ළඟාවිය හැකි මෙම ගම්මානය අතිශය සුන්දර ස්වයංපෝෂිත දිවියක් ගතකරන ගැමියන්ගෙන් සැදුම්ලත් එකකි. තම තමන්ගේ කුඩා ගොවිබිම්වලින් නෙළාගන්නා ඵලදාව රැගෙන දිනපතාම මේ අවිහිංසක ගැමියෝ කිලෝමීටර දොළහක ගිරි මඟ තරණය කරති. ඔසවාගත හැකි උපරිම බර හිසමත දරාගනිමින් ගමන අරඹන ඔවුහු මඩොල්සිමදී ඉල්ලන මිලට තම අස්වැන්න විකුණා නැවත ගමට පැමිණෙන්නේ ෂොපින් උරයක දමාගත් බඩු ස්වල්පයක්ද අතැතිවය. ඔවුන්ගේ දෛනික ජීවිතයේ පැය හතක් ගෙවෙන්නේ ගමනටය. එතරම් දුෂ්කර ගමනක් ගතවන දිනයේ අවසානයේ ඔවුන් උපයන මුදල උපරිම වශයෙන් රුපියල් පන්සියයට වැඩි නැත. තමාගේ එදාවේල සරිකරගන්නා මේ ස්වයංපෝෂිත ගමෙහි සුන්දර මිනිසුන් නැවත ගම්වදින්නේ හැන්දෑව ද දෝත දරාය.

Thursday, October 15, 2015

ආදිවාසීන්ගේ අරුම පුදුම පුළුන් පෙරහර




මොර බැද්ද පසුකොට මහා වනයට වැදි දෙමටා තත්ත්පරයක ඇසිල්ලෙන් කොළොන් ගසෙහි ඉහළම අත්තට බඩගෑවේය. ගෙදර යන්නා වැනි ගමනින් ගසට බඩගෑ හෙතෙම එතැනින් බසා හරි කෙළින් අහස තෙක් නැඟී හිඳි කොළොන් ළී තෝරන්නට පටන් ගත්තේය. තෝරාගත් කොළොං ලීය එක් පොරව පහරකින් කපා ලූ කැකුලා ගසෙන් බැද්දට පැන්නා මිස බැස්සේ නම් නැත. පොරෝ කැටිය උරයේ රුවාගත් දෙමටා කැකුලා මෙන්ම බොහෝ කැකුළෝ මෙහේ වනවැදුණේ ඇද නැති කොළොන් ලී සෙවීමටය. කපාගත් ලී දඬු ශක්තිමත් උරබාහුවට තද කොටගත් මේ කැකුළන් නඩය නැවත මොරබැද්දට ගෑටුවේ ඉර හැරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය.

Thursday, September 10, 2015

අපේ හාමුදුරුවන්ගේ වීර්ය පාරමිතාව

ඉර මෝදු වී තිබුණ ද තවමත් කොහොනාවලට හරිහැටි එළිය වැටී නැත. ලුණුගල කඳු වළල්ලට මුවා වී ඉඟි බිඟි පාන සඳ ද තවමත් අහසේය. මේ උදෑසන පියකරුය. නිසසලය. යෝධ සියඹලා තුරු හිසෙහි ඉතිරි ඵල නෙළන්නට පැමිණි විසේකාර දඬුලේනුන්ගේ දැඟලිල්ලෙන් අපි අවදි වන විට උදෑසන අට ද පසු වී තිබුණි. කොළඹ සිට පැය අටක් ගෙවා මඩොල්සිමට පැමිණි ගමනත්, එතැන් සිට කිලෝමීටර් 12ක් පැමිණි අතිශය දුෂ්කර පාගමනත් අප අප්‍රාණිකයන් බවට පත් කොට තිබුණි.

Friday, June 5, 2015

ගිනස් පොතට ගිය ලංකාවේ මුල්ම නිළිය 

මාලිනී රණසිංහ

                                    මා ඇය වේදිකාවේ රඟනු කෙදිනක හෝ දැක නැත. නමුදු ඇල්පිටිය රූපා කරුණාතිලක රඟහලේ නිතර නාට්‍ය බලන්නට යාම පුරුද්දක් කොට ගත් තාත්තා ඇගේ නම කිහිප වරක්ම කියනු මා අසා තිබුණි. ‘සිංහබාහු’ යන නම සමඟ මහැඳුරු සරච්චන්ද්‍රයන්ගේ රන් නාමය කියැවෙන සෑම විටදීම කොතැනක හෝ ඇයගේ නම කියවෙනු ද මම කිහිප විටක්ම දුටිමි. ඇයගේ නම සමඟම ටෙරන්ස් රණසිංහ (ටෙරී) යන නම ද නිරතුරුවම බැඳුණු බව ඇසුණු කතාවලට අනුව මට මතකය.