Thursday, October 15, 2015

ආදිවාසීන්ගේ අරුම පුදුම පුළුන් පෙරහර




මොර බැද්ද පසුකොට මහා වනයට වැදි දෙමටා තත්ත්පරයක ඇසිල්ලෙන් කොළොන් ගසෙහි ඉහළම අත්තට බඩගෑවේය. ගෙදර යන්නා වැනි ගමනින් ගසට බඩගෑ හෙතෙම එතැනින් බසා හරි කෙළින් අහස තෙක් නැඟී හිඳි කොළොන් ළී තෝරන්නට පටන් ගත්තේය. තෝරාගත් කොළොං ලීය එක් පොරව පහරකින් කපා ලූ කැකුලා ගසෙන් බැද්දට පැන්නා මිස බැස්සේ නම් නැත. පොරෝ කැටිය උරයේ රුවාගත් දෙමටා කැකුලා මෙන්ම බොහෝ කැකුළෝ මෙහේ වනවැදුණේ ඇද නැති කොළොන් ලී සෙවීමටය. කපාගත් ලී දඬු ශක්තිමත් උරබාහුවට තද කොටගත් මේ කැකුළන් නඩය නැවත මොරබැද්දට ගෑටුවේ ඉර හැරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය.

මොරබැද්දේ විඩා නිවාගත් ඔව්හු ඇඳිරි වැටෙන්නට ආසන්නයේ ඊළඟට වැඩ පටන් ගත්හ. කපාලූ කොලොන් ලී මිටිය එකිනෙක සීරුවට පොතු රැහැ ගත් තරුණයෝ ඒ අතර රසබර කතා ද මිමිණුවෝය.

“විට පොජ්ජක් කැවිල්ලාමු”

කලුල ඇත්තෝට මහන්සි පාටය. හෙට උදෑසනම ඔවුන්ට පරම්පරාගත රාජකාරියක් පැවරී ඇත. මහියංගණය මහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්ලයේ දී ඔව්හු සුවිශේෂී පෙරහරක් පවත්වති. “වැදි පෙරහර” ලෙස හඳුන්වන මේ විශේෂිත පෙරහර මහියංගණය සමන් දේවාලයට පමණක් ආවේණික සුවිශේෂී අංගයකි. වැදි පරම්පරාවේ උරුමයක් ලෙස මේ පෙරහර හඳුන්වන ආදිවාසීන් ඒ වෙනුවෙන් භක්තිමත්ව කැපවෙති.

බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයේ දී පටන් පැවත එන මෙම පෙරහර ඇතැමුන් “පුළුන් පෙරහර” ලෙසට ද හඳුන්වති.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නලැත්තෝ කුඩා සන්දියේ පටන්ම මේ පෙරහර දුටු, පෙරහරට සහභාගි වූ ජීවමාන සාක්ෂිකරුවෙකි. එදා බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයේදී යක්ෂ ගෝත්‍රිකයෝ පෑ විරෝධතාවය මෙම පෙරහරෙන් ප්‍රතිනිර්මාණය වෙයි. ඒ රසවත් කතාන්දරය වන්නිලැත්තෝ පවසන්නේ වැදි බසිනි. ඒ කතාව සිහල බසින් මෙසේය.

“බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයේ දී මේ ප්‍රදේශවල ජීවත්වුණේ යක්ෂ ගෝත්‍රික ජනතාව. යක්ෂයන් කිව්වම බොහෝ දෙනෙකුගෙ හිතේ තවමත් මැවෙන්නෙ ලොකු බඩක් තියෙන ඉස්සරහට ආපු දත් තියෙන ඇස ඉලිප්පිච්ච කළු මිනිසුන් කොටසක්. මේ පිරිස මිනිසුන්ව කෑව කියලත් වැරැදි මතයක් අපේ රටේ ජනතාව අතර තියෙනවා. යක්ෂ ගෝත්‍රිය කියන්නෙ මළ සතුන් ඇදහූ ගෝත්‍රය කියන කාරණාව පදනම් කොටගනිමින් පටබැඳුණු නමක්. එදා බුදුරජාණන් වහන්සේ (බුද්ධිලැත්තො) මහියංගණයට වැඩම කළ කාලේ මේ ප්‍රදේශය පාලනය කළේ සුමන කියන පාලකයෙක් (ජනප්‍රවාදවලට අනුව සුමන සමන් දෙවියන්) එතුමා බුදු රජාණන් වහන්සේ මහියංගනයට වැඩම කෙරවීමත් සමඟම යක්ෂ ගෝත්‍රිකයන්ට පිට දේසෙන් මේ දේශයට ආව මේ අමුත්තා කවුද කියලා කුතුහලයක් ඇතිවුණා. තමන්ගෙ ප්‍රදේශයට ඇවිල්ල ඉඩං කඩං අල්ලගෙන වින කරන්න හදනව කියල තමයි එදා වැදි ජනතාවට තේරුම් ගියේ. ඉතිං වැදි ජනතාව ගිහිං මේ කතාන්දරය සුමන පාලකයාට කිව්වලු. උන්නාන්සේ මේ ඉන්නෙ බුදුහාමුදුරුවො කිව්වම යක්ක ගෝත්‍රිකයන්ට ගණනකට ගියේ නැහැ.

ඒ හින්දම යක්ක ගෝත්‍රිකයෝ බුදු හාමුදුරුවන්ව එළවගන්න උපායක් කල්පනා කළා. ඇ‍ඟේ මී පැණි තවරගෙන, කෙසෙල් පරඬලා ඔතාගෙන දිග රිටි මුගුරු අරන් වැදි ජනතාව බුදු හාමුදුරුවන්ට එය කරන්න වැඩ උන්නු තැනට ආවා. මේ අතරෙ දී සුමනට ඊතලයෙන් විද්දත් එය ඇ‍ඟේ ඇනුනෙ නැතිලු.

මෙහෙම බුදුහාමුදුරුවො වැඩ උන්නු තැනට ආපු වැදි කණ්ඩායම උන්නාන්සේ එළවාගන්නට විවිධ උපක්‍රම යෙදුවලු. පුළුන්වලින් වැහිච්ච වැද්දෝ හූ කියමින් රිටි වනමින් එදා විරෝධතාවය පෑවලු. ඒත් බුදුරජාණන් වහන්සේ කලබලයට පත්‍ නොවී මේ වැදි ජනතාවට කරුණු පැහැදිලි කරල දමනය කළා කියල තමයි ඉතිහාසයේ කියවෙන්නෙ. ඇත්තටම එදා දේශනා කරල තියෙන්නෙ බණක් නෙවෙයි කරුණ පැහැදිලි කරපු සත්‍ය වටහා දෙන කතාන්දරයක්.


ඉන් පස්සෙ පැහැදුණු යක්ෂ ගෝත්‍රිකයෝ බුදුරජාණන් වහන්සේගෙන් වගේම සුමනගෙනුත් සමාව ලබාගෙන නැවතත් සාමදානෙන් ගම්බිම් බලා ගියා කියලා තමයි ඉතිහාසය කට වහරෙ කියවෙන්නෙ. මහියංගණනේ පෙරහර පටන් ගත්ත දවසෙ ඉඳල මේ සිදුවීම සංකේතවත් කරන්න වැදි පෙරහර පැවැත්වෙනවා.

වන්නිලැත්තෝ කතා දමන්නේ තම පරපුර ගැන අභිමානයෙනි. මහියංගනය මහ සමන් දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර අවසානයේ දී පැවැත්වෙන වැදි පෙරහර සඳහා වැදි ජනතාව දේවාල බිමට පැමිණෙන්නේ පෙරදා රාත්‍රියේදීය. වනාන්තරයෙන් කපාගත් රිටි, එකතු කර ගත් මීපැණි, පුළුන් මෙන්ම කෙසෙල් පරඬලා ද රැගෙන දේවාල බිමට පැමිණෙන ආදිවාසීහු දේවාලයට යාබද බිම්කඩ තම තමාගේ නඩය වෙනුවෙන් වෙන්කර ගනිති. ඉන් අනතුරුව ආදිවාසී නායකයා විසින් බස්නායක නිලමේවරයාට මී පැණි පූජා කිරීම සිදුවෙයි. තමා පෙරහර කිරීමට සූදානම් බව නිලමේවරයාට දන්වා සිටින ආදිවාසී නායකයා තමන්ගේ වරිගපො‍ජ්ජ සමඟ පෙරහරට සූදානම් වන්නේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේදීය.

පළමුව දෙවියන් වෙනුවෙන් බාරයක් පුදන මේ ජනතාව ඉන් අනතුරුව තම සිරුර පුරාම මී පැණි ගල්වා ගනිති. පුරාණ චාරිත්‍රානුකූලව හැම කෙනකුගේම සිරුරේ මී පැණි බිඳුවක් ගැල්වීම සිදුකරනු ලබන්නේ ආදිවාසී නායකයා විසිනි. නායකත්වයෙන් ලද අවසරයෙන් පසුව සියලු දෙනාම සිරුර පුරා මී පැණි ගල්වා ඒ මත පුළුල් අලවා ගනිති. ඇතැමුන් සිරුර වැහෙන සේ කෙසෙල් පරඬලා ඔතා ගනිති. ඉන් පසුව තම තමන් විසින් සකසා ගත් පිරිසුදු දිග රිටි අතට ගන්නා වැදි ජනතාව මහ පෙරහර නිමාවී වෙහෙර බිමට පැමිණෙන තෙක්ම තමාට වෙන්වූ සීමාවට වී සැඟව කාලය ගෙවති.

මහ පෙරහර දේවාල බිමට ගෙවැදී පැයක පමණ කාලයක් ගතවූ තැන (සාමාන්‍යයෙන් උදෑසන 3.00 ට පමණ) වැදි ජනතාව තමන්ගේ පෙරහර අරඹන්නේ හූ හඬ දෙමින් මොරලමිනි. දේවාල බිමේ තැන තැන නිදා සිටින ජනතාවගේ ඇඟ උඩින් පනිමින් මොරලමින් වැදි ජනතාව දේවාල වීදි අතරේ සීසීකඩ විසිරෙති. සාම්ප්‍රදායානුකූලව අමුඩවලින් සැරසුණු වැදි ජනතාවගේ මේ අනපේක්ෂිත ගමන ජනතාව තුළ ඇතිකරන්නේ තැතිගැන්වීමක් මෙන්ම භීතියකි. ත්‍රාසයකි.

කදිම නාට්‍යෝචිත අවස්ථාවලින් හෙබි වැදි පෙරහර සජීවී රංගනයකට ද සමාන කිරීම වරදක් නැත. විවිධ ඉරියව් පාමින්, අභින කරමින්, රිටි එකිනෙක හප්පමින් ආදිවාසීහු කලහයක වටපිටාව නාට්‍යෝචිතව මවති. දේවාල බිමේ සියලු වීදිවල දුවමින් ඔව්හු අවසානයේ සමන් දේවාලයේ ප්‍රධාන දොරටුව අබියසට පැමිණෙති. තෙවරක් සෑ මළුව වටා පැදකුණු කොට දේවාලය අසලට පැමිණෙන කණ්ඩායමේ නායකත්වය හොබවනු ලබන්නේ ද ආදිවාසී නායකයා විසිනි. තමා අත ඇති රිටි එකිනෙක හප්පමින් හූ කියමින් දේවාලය අබියස රැඳී සිටින ඔව්හු විරෝධතාවය දක්වති. කරකැවෙමින් නටමින් හූ හඬ තලමින් විරෝධතාවය දක්වන රැහේ ජවසම්පන්න අයකු විසින් සමන් දේවාලය වෙත ඊයක් විදිනු ලැබේ. එදා හීයෙන් සමන් දෙවියන්ට (සුමන) විදි පුවත රඟදක්වන ඔව්හු අනතුරුව දිග රිටි දේවාලය ඉදිරිපසසඳකඩ පහනේ ගවයා කඩා දමති. කඩා දැමූ ලී දඬුද රැගෙන මහවැලි ගඟ වෙත පිම්මේ දිවගොස් උදෑසන නොකිළිටිව ගලන සුනිමල සිහිල් දියේ ගිලී නාගනිති. නෑමෙන් අනතුරුව නැවතත් සමන් දේවාලයට පැමිණ සමන් දෙවියන් වැඳ සමාව යැද ආශිර්වාද ලබා ගනිති.



වැදි පෙරහැර එසේ නිමාවට පත් වුවද රාත්‍රියක් පුරා නිදිවර්ජිත ආදිවාසීන්ගේ චාරිත්‍ර නිමාවන්නේ දොඩම් පෙරහර නම් විශේෂිත ආශිර්වාද පෙරහරෙනි. පුරාතනයේ පටන්ම පැවත එන දොඩම් පෙරහර විජය රජුට දිවි දොස් වැලඳුණ අවස්ථාවේදී එය සමනය කිරීමට වූ බාරය ඔප්පු කිරීමක් බවද කියැවේ. කෙසේ වෙතත් දිය කැපීමේ මංගල්ලයට පෙර පැවැත්වෙන දොඩම් පෙරහර ආදිවාසීන් විසින් තම හැකියාවන් ප්‍රදර්ශනය කරන පෙරහරකි.

ප්‍රථමයෙන්ම බස්නායක නිලමෙවරයා විසින් ලබා දෙන පැණි සහ ඇඹුල් දොඩම් ලබාගන්නා වැදි නායකයා තමාගේ කණ්ඩායමට ඒවා බෙදා දෙනු ලබයි. ඉන් අනතුරුව ඇරඹෙන පෙරහරේදී වැදි ජනතාව බිම නොවැටෙන සේ දොඩම් උඩ දමමින් අල්ලපන් පෙරහැරේ ගමන් කරති. තමන්ගේ විස්මිත හැකියාවන් පෙන්වන ආදිවාසීහු එකඳු දොඩම් ගෙඩියක්වත් බිම නොවැටෙන්නට වගබලා ගනිති. දොඩම් පෙරහර ගැන වන්නිලැත්තන්ට ඇත්තේ මෙවැනි අදහසකි. අත්දැකීමක්.
“මං පුංචිකාලෙ අප්පිලැත්තො (තාත්තා) එක්ක මේ පෙරහරට ඇවිත් තියෙනවා. මහියංගනයේ වගේම අවට ගංවල දෙනෝදාහක් දොඩං පෙරහර බලන්න එනවා. මේ දොඩම්වල යුෂ බිව්වම ඇස්වහ කටවහ හූනියං දෝස නිවාරණය වෙනව කියල විශ්වාසයක් හැම කෙනාගෙම හිත්වල තියෙනවා. ඒ වගේම ප්‍රදේශයේ බව භෝග සරුවෙලා අටුකොටු පිරිල යන්න කියල මේ පෙරහරේදී ප්‍රාර්ථනා කරනවා. වසංගත රෝග බිය අමනුෂ්‍ය බිය වගේ හැම කරුණක්ම පහවෙලා සෙතක් ශාන්තියක් වෙන්න තමයි දොඩම් පෙරහැර පවත්වන්නෙ.

දොඩම් පෙරහර දේවාල බිමට පැමිණෙන විට දෙනෝදාහක් ජනතාව බලා ඉන්නෙ දොඩම් ගෙඩියක් හෝ ටිකක්වත් ලබා ගැනීමට ය. ඒ සඳහා ඔවුහු පොරකති. වන්නිලැත්තෝ පැවසූ පරිදි මේ පැඟිරි යුෂ පානයෙන් සියලු දෝස දුරුවන බවට ජනතාව විශ්වාස කරති.

මෙසේ පෙරහර අවසන වැදි ජනතාව බස්නායක නිලමේවරයාගෙන් සමුගෙන තම ගම් බිම් බලා පිටව යති. වැදි පෙරහර හා දොඩම් පෙරහර හාත්පසින් වෙනස්ය. වැදි පෙරහරෙහි කලහකාරිව ගමන් කළ වැදි ජන පිරිස දොඩම් පෙරහරෙහි ගමන් කරන්නේ ශාන්තවය. ලිඛිත සාක්ෂියක් නොමැති වුවද වැදි පෙරහර ලෝකයේ පළමු විරෝධතා ව්‍යාපාරය ද විය හැකිය. මේ අනුව බලන කල්හි තවමත් නොනැසී පවතින වැදි පෙරහර අපේ පරවේණි උරුමයකි.

වැදි පෙරහර එළඹෙනතෙක් ඇඟිලි ගිනිමින් සිටින තරුණයෝ පෙරහරෙන් විවිධ ජවසම්පන්න රැඟුම් පාමින් තම හයිය හත්තිය ජනතාවට ප්‍රදර්ශනය කරති. මෙම පෙරහර දෙකටම කිසිදු කාන්තා නියෝජනයක් නොමැතිවීම විශේෂත්වයකි.

පසුදින දිවා කාලයට ආසන්න වෙත්ම වැදි ජනතාව නැවතත් සිය ගම්බිම් බලා පිය මනිති. කැලෑවදිති. තම සුපුරුදු අභිමානවත් දිවිපෙවෙත අරඹති. මොරබැද්දට ඉහළින් ඉර හැරෙද්දි වන වදින ඔවුහු තහංචි මැද්දෙන් දිවිගමන පදවති.


 - චතුර ගීතනාත් බණ්ඩාර
ප්‍රබුද්ඩි රණසිංහ



ඡායාරූපය - සුසන්ත විජේගුණසේකර

වැදි පෙරහරෙන් අති දුර්ලභ සජීවි රූප රාමු නරඹන්නට www.Dinamina.lk වෙත පිවිසෙන්න.
https://www.youtube.com/watch?v=UC-fOR46sSs

(දි y කණ්ඩායමේ ව්‍යාපෘතියකි)



(උපුටා ගැනීම දිනමිණ පුවත්පතෙනි.)

No comments:

Post a Comment