Thursday, September 10, 2015

අපේ හාමුදුරුවන්ගේ වීර්ය පාරමිතාව

ඉර මෝදු වී තිබුණ ද තවමත් කොහොනාවලට හරිහැටි එළිය වැටී නැත. ලුණුගල කඳු වළල්ලට මුවා වී ඉඟි බිඟි පාන සඳ ද තවමත් අහසේය. මේ උදෑසන පියකරුය. නිසසලය. යෝධ සියඹලා තුරු හිසෙහි ඉතිරි ඵල නෙළන්නට පැමිණි විසේකාර දඬුලේනුන්ගේ දැඟලිල්ලෙන් අපි අවදි වන විට උදෑසන අට ද පසු වී තිබුණි. කොළඹ සිට පැය අටක් ගෙවා මඩොල්සිමට පැමිණි ගමනත්, එතැන් සිට කිලෝමීටර් 12ක් පැමිණි අතිශය දුෂ්කර පාගමනත් අප අප්‍රාණිකයන් බවට පත් කොට තිබුණි.

අප අවදි වන විටත් පන්සලෙහි බත ඉදෙමින් තිබූ අතර ලොකු හාමුදුරුවන් සමඟ කරට කර දුවමින් පනිමින් වැඩකටයුතුවල යෙදෙන පොඩි හාමුදුරුවන් තේ පිළියෙල කරන්නේ අපටය. හාමුදුරුවන් ජීවත්වුණද හැබෑවටම මෙය ප්‍රජාශාලාවකි. ගමේ පන්සල ඉදිවී ඇත්තේ ප්‍රජාශාලාවකය. ඒ කුඩා ඉඩෙහි තාවකාලිකව නිමවූ විහාර ගෙයකි. විහාර ගෙයට නුදුරු කාමරයේ තැන තැන කෝටුවල එල්ලූ සිවුරු ය. කුඩා ලෑලි මේසයක් මත ත්‍රිපිටකය තැන්පත්කොට ඇති අතර කුඩා ශාලාවේ තැන තැන උදළු පොරෝ දමා ඇත.
“මහත්තැන්ල කාලා උඩට එන්න. මං ගල් ටිකක් කඩන්න යනවා” ලොකු හාමුදුරුවෝ අප බාර දුන්නේ කුඩා හාමුදුරුවන්ටය. කිතුල් හකුරු සමඟ කහට වරියක් ද බිව් අපි ද වැටුණේ ලොකු හාමුදුරුවන්ගේ පසුපසය. ප්‍රජා ශාලාවට නුදුරෙන් කුඩා පන්සල ඉදිවෙමින් තිබේ. වසර තුන්සියයකටත් පෙර ඉතිහාසයකට නෑකම් කියන මේ සුන්දර ගම්මානයට පන්සලක් ඉදිකිරීමට ලොකු හාමුදුරුවන් පැමිණියේ මීට වසර තුනකට ඉහතදීය. මහ මූකලාන කොටා පන්සල ඉදිකිරීමේ කටයුත්ත ඇරඹුණේ ලොකු හාමුදුරුවන්ගේ පැමිණීම සමඟ ය. තැන තැන හමු වූ ගැමියන්ගේ අව්‍යාජ හිනාවෙන් සංග්‍රහ ලද අප පන්සල ඉදිවෙමින් තිබූ බිමට පැමිණියෙමු. තවමත් පන්සලෙහි වැඩ අඩක්වත් නිම වී නොමැත.
බෝ මළුවෙහි තැන තැන තිබූ විශාල ගල්කැබලි එක්තැන් කරගත් ලොකු හාමුදුරුවෝ ගල් වැඩපළෙහි කටයුතු ඇරඹුවේය. ඒ අතරතුර උන්වහන්සේ අතීත කතාවද වරින් වර මෙනෙහි කරන්නේ සතුටිනි.
“මං වැඩඋන්නෙ පොකුණුවිට පන්සලේ. දවසක් මට ආරංචි වුණා යන්න එන්න පාරක් නැති හුදෙකලා ගමක් ගැන. කොළඹට වෙලා සුඛ විහරණ ලබමින් ඉන්නවට වඩා මේ ගමට ගිහින් සේවයක් කරන්න ඕනෙ කියල මට හිතුනා. මේ ගමේ පාංශුකූලය දෙන්නවත් හාමුදුරුවො නමක් නෑ කියලයි මට දැනගන්න ලැබුණෙ. ඔහොම දවස් ගාණක් ගත වුණා. මං මේ ගම ගැන සෝදිසි කරල බැලුවා. බලද්දි කතාව ඇත්ත. මං අපේ ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරං මේ ගමට එන්න පිටත් වුණා. ඒ වෙද්දි මං ගාව දායකයන්ගෙන් ලැබුණු කුඩා මුදලකුත් තිබුණා. සිවුරු දෙකකුයි බණ පොතකුයි අරන් මහ රෑ කොළඹින් පිටත් වුණා‍. ඒ තමයි මං බදුල්ලට ආපු පළමුවෙනි ගමන. කොහොමහරි උදේ වෙද්දි බදුල්ලට ආවා. 2012 හයවැනි මාසෙ 12 වැනිදා තමයි මං බදුල්ලට ආවෙ. එතන ඉඳන් මඩොල්සිමට ආවා. ඉස්සෙල්ලම ගියේ මඩොල්සිම පොලිසියට. ඒ වෙනකොට ඕ.අයි.සී. මහත්තය හිටියෙ ජයතිලක කියල කෙනෙක්. එතුමා මගේ ගමන ගැන අහල ඔළුවෙ අතගහගත්තා. මේ ගමේ දුෂ්කර ජීවිතය ගැනත් කිව්වා.
කොහොමහරි එදාම මං කොහොනාවලට එන්න පල්ලම් බැස්සා. පාරක් නැති නිසා ගමන ටිකක් දුෂ්කර වුණා. මට ඕනවෙලා තිබුණෙ මේ මිනිස්සුන්ට පන්සලක් හදල ආගමික කටයුතුවලට යොමුකරන්න. හවස්වෙද්දි ගමට එන්න පුළුවන් වුණා.
ධම්මානන්ද හිමියන් කතා බහ කරන්නේ තම වැඩකටයුත්ත අතරතුරය. මහා ගල් ගෙඩි මිටි පහරින් තැලී පොඩිවී යයි. ඒවා තාච්චිවලට අඩුක්කු කරන පොඩි හාමුදුරුවන් තිදෙනා ද තම තමන‍්ගේ කටයුතුවල ය. වසර හත්සියයකට නෑකම් කියන බෝධීන් වහන්සේගේ සෙවණ යට කුඩා ගල් වැඩපොළක සිරිගනී. පීල්ලෙන් වෑස්සෙන ජලයෙන් මුව දොවාගන්නා ලොකු හාමුදුරුවන් නොනවත්වාම තම කටයුත්තේය. තිස් හත්හැවිරිදි උන්වහන්සේ තම ජවය කැපකරන්නේ පන්සල තැනීමට ය.
“ගමට ආවම මිනිස්සු පුදුම වුණා. ගමේ හැමෝම ඉතාම ගෞරවයෙන් මාව පිළිගත්තා. ඉස්සෙල්ලම පැරණි ශාලාවක තමයි මං වාසය කළේ. මෙහෙම මාස තුනක් විතර දුෂ්කර ජීවිතයක් ගතකරල මං ආයෙමත් කොළඹ ආවා. ඇවිත් දවස් කීපයකින් ගමට ඇවිත් පන්සල හදන කටයුත්ත ඇරඹුවා. මං ආයෙමත් ආවෙ කොහොමහරි පන්සලක් හදනව කියල හිතාගෙන. ගමේ හැමෝටමත් පන්සලක් හදන්න උවමනාව තිබුණා. ඒත් මේ ගමේ කිසිම කෙනකුට ඒකට වැයකරන්න මුදලක් තිබුණෙ නැහැ.
මේ ගමේ ජීවත්වෙන්නෙ එදාවේල හොයාගන්න මිනිස්සු. කොස් ගෙඩියක්, පොලොස්ගැටයක්, අඹ ගෙඩියක් විකුණල කීයක් හරි හොයාගෙන ජීවත්වෙන මිනිස්සුන්ගෙන් කොහොමද පන්සල හදන්න සල්ලි ඉල්ලන්නෙ. කොහොමහරි කලක් ගතවෙද්දි ගමට හාමුදුරුවො නමක් වැඩමකළා කියල හැමතැනම ආරංචි වුණා. තාවකාලිකව මට ගමේ ප්‍රජාශාලාව ලැබුණා.
සමහර දවස්වලට දානෙවේල ලැබුණත් නැති දවස්වලට මං උයාගෙන දානෙ වැලඳුවා. හොරණ පන්සලේ ගෙවපු සැපදායක ජීවිතේට වඩා හාත්පසම වෙනස් මේ හුදෙකලා ජීවිතේට මං පුරුදු වුණා. ගමේ මිනිස්සුත් මාත් ‍එක්ක එකතුවෙලා බෝධිපූජා පිංකම් පැවැත්වූවා. මට හරිම සතුටුයි.
මේ අතරෙ තමයි ගමේ විමලරත්න දායක මහත්තය ඉඩමක් දුන්නෙ. ඉඩම තිබුණට පන්සල හදන්න කෝ සල්ලි. මං කල්පනා කළා. කොළඹ මහත්තුරු කීපදෙනෙක් මං ගැන ආරංචිවෙලා ආධාර කළා. තුෂාර හේමන්ත කියල මහත්තයකුයි, සුජානි ෆොන්සේකා කියල නෝන කෙනෙකුයි තමයි බෝධි ප්‍රාකාරයට දායක වුණේ.
අඩක් නිමවූ විහාරගෙයත්, සංඝාවාසයත් දෙස මදවේලාවක් බලා හිඳි ලොකු හාමුදුරුවෝ, විවේක ගිමන් නිවන්නේ විටක් හපමිනි. ක්‍රමයෙන් බෝමළුවට වැටුණු අවුදැල්ල වැඩකටයුතුවලට තාවකාලික නිමාවක් ලබා දුන්නේ ය. ඒ අවසරයෙන් නැවත පන්සලට පැමිණි සියලු දෙනාම විශාල සියඹලා ගස යට සාකච්ඡාවක ය.
“ගමට ආව දවසෙ ඉඳල මගේ වැඩ මං තනියම කරගත්තා. දායක මහත්තුරු, නෝනල හැම දේටම උදව් උපකාර කළා. ගමේ මිනිස්සු උදේ මඩොල්සිමට ගියහම ආයෙ එන්නෙ හවසට. ඒ හින්ද ඒ උදවිය වැඩට හවුල්කරගන්න එක අපරාධයක්. තමන්ගෙ බඩවියත රැකගන්න, දවසෙ වියදම හොයාගන්න මිනිස්සුන්ගෙ දවසත් නාස්ති කළොත් ඒ මිනිස්සු ජීවත්වෙන්නෙ කොහොමද? මේ පන්සල හදන්න මම පුළුවන් විදියට වැඩටික කරගත්තා.
තනියම ගල්ටික කඩා‍ගත්තා. ගඩොල්ටික කපාගත්තා. කැත්තෙ, උදැල්ලෙ වැඩ පුළුවන් නිසා කන්න පුළුවන් එළවළුටිකත් වගා කරගත්තා. මේ හැමදේටම ගමේ උදවිය හැකි ප්‍රමාණෙට උදව් කළා. ගස් නැග්ගෙත් මං, එළවළු හිටෙව්වෙත් මං. “හාමුදුරුවො පුදුම කෙනෙක්” ගමේ මිනිස්සු එහෙම හිතන්නත් ඇති.
ගමේ උදවියට මෙන්ම අපටද හිතෙන්නේ එහෙමය. කොළඹ පන්සලකට වී සුඛවිහරණ ලබමින් සිටින්නට ඕනෑතරම් අවස්ථාව හිමි මේ හිමිනම සැබෑවටම වෙහෙසෙන්නේ ගමේ පන්සල තැනීමට ය. ගමට බොදු දහමේ දැනුම ලබාදීමට ය. හරිහැටි ජීවිතය ගෙවා දමන්නටවත් උන්වහන්සේට තැනක් නැත. කුඩා මුළුතැන්ගෙහි කෝකියා වීමට ද උන්වහන්සේට සිදුවී ඇත. දානේ වේල නොලැබෙන දිනවලදී කුඩා හාමුදුරුවන් බඩගින්නේ තැබීමට බැරිය. ඒ නිසාම උන්වහන්සේ කැලෑ කොළ හෝ තම්බා පුංචි හාමුදුරුවන්ගේ කුසගින්න නිවා දැමීමට පෙළඹෙන්නේ සැබෑ පීතෘ ගුණය ප්‍රකට කරවමින් ය.
“කාලයක් යද්දි ගමේ මිනිස්සු පන්සලට නැඹුරු වුණා. මේ ගම හරිම සාමකාමියි. මත්වතුර, මත්ද්‍රව්‍ය කිසිම දෙයක් ගමේ නෑ. සත්තු මරන්නෙ නෑ. හොරකං නෑ. ඒ හින්දම මේ මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරල දෙන්න ලේසියි. පහසුයි. ඒ නිසාම මේ දුෂ්කර ජීවිතේ ගැන මට තියෙන්නෙ සතුටක්. කිසිම වෙලාවක දුකක් දැනෙන්නෙ නෑ. ගමේ උදවිය පන්සලත් සමඟ සම්බන්ධව වුණා. ඔවුන් එක්ක සාකච්ඡා කරල මං කුල දරුවන් දෙදෙනකු මහණ කළා.
දැන් පන්සලේ ගමේ හාමුදුරුවොත් ඉන්නවා. මටවත් ඉන්න පහසුකම් නැති ප්‍රජා ශාලාවෙ දැන් ඉන්නෙ කුඩා හාමුදුරුවො තුන්නමක් එක්ක. මේ මගේ දරුවො. ඒ දරුවො හොඳට බලාගන්න වගකීම තියෙන්නෙ මට. මේ දරුවන්ට හොඳට අධ්‍යාපනයක් ලබල දෙන්න ඕනෙ කියල හිතුනා. ඒ නිසාම පොඩි හාමුදුරුවො තුන්දෙනාම පාදුක්කෙ උඩුමුල්ලෙ පිරිවෙනට දැම්මා. දැන් ඒ ඇත්තො හොඳට ඉගෙනගන්නවා. මේ නිවාඩු කාලෙට තමයි ගමට එක්කන් ආවෙ.
කුඩා හාමුදුරුවන්ගේ සෙල්ලම් වයස තවමත් පසුවී නැත. ප්‍රජාශාලා බිමෙහි තැන තැන දුවපැන නටන මේ කුඩා හාමුදුරුවන් තිදෙනා ධම්මානන්ද හිමියන් කෙ‍රෙහි ඇත්තේ අප්‍රමාණ ගෞරවයකි. පියකුට මෙන් උන්වහන්සේලා ලොකු හාමුදුරුවන්ට ළෙන්ගතු ය. ධම්මානන්ද හිමියන්ගේ සිවුරු පො‍ටෙහි එල්ලී වරින්වර කරන විවිධ ඉල්ලීම් ඊට දෙස් දෙයි.
“පුංචි දරුවොනෙ. මං කිසිම අඩුවක් කරන්නෙ නෑ. ණයට හරි කොළඹ අඳුනන අයගෙන් සල්ලි ඉල්ලං මේ තුන්දෙනාගෙ අවශ්‍යතා ඉටුකරනවා. සමහර වෙලාවට බිස්කට් ඉල්ලනවා. අයිස්ක්‍රීම් කන්න ආසයි කියනවා. සෙල්ලම් බඩු ඉල්ලනවා. බීම බොමු කියනවා. ඉතිං කරන්න එපැයි. සමහරදාට තුන්දෙනාම මගේ තුරුල්ලට වෙලා නිදාගන්නවා. වහිනදාට හරිම බයයි. මට මේ තුන්දෙනාට හොඳට අධ්‍යාපනයක් ‍ලබල දෙන්න ඕනෙ. එතනින් පස්සේ මට නිදහසේ ඇස්පියාගන්න පුළුවන්.
ධම්මානන්ද හිමියන්ගේ දෙනෙත කඳුළින් තෙත්වී ගොසිනි. තැන තැන තම කටයුතුවල නියුතු කුඩා හිමිවරු ධම්මානන්ද හිමියන්ගේ බලාපොරොත්තුව ඉටුකරනු ඇතැයි සිතෙන තරමටම අධ්‍යාපනයට ආසාවක් දක්වති. ගස් සෙවණකටවී මේ හිමිවරු ලොකු හාමුදුරුවන්ගෙන් අකුරු උගනිති. කතා අසති. කොළඹ ගැනත් එහි ජීවිත්විය යුතු පිළිවෙළ ගැනත් ඔවදන් ලබති.
“මේ කටයුතු ටික මං කරගන්නෙ හරිම අමාරුවෙන්. කොහෙන්වත් ආධාරයක් ලැබෙන්නෙ නෑ. කොළඹ දායක මහත්තුරු තමන්ට හැකි විදියට ආධාර කරනවා. මං ඒ හැම සතේම වියදම් කරන්නෙ පන්සල හදන්න. විමලරත්න මහත්තය දීපු ඉඩමෙ පන්සල බාගෙට ඉදිකරල තියෙන්නෙ. මේ හැම සිමෙන්ති කොට්ටෙම ගේන්න ඕනෙ කිලෝමීටර 10ක් විතර පයින්. වැලි අදින්නෙත් එහෙම. මේවට ගමේ මිනිස්සුන්ට මං කුලියක් ගෙවනවා. මං ගමේ කිසිම කෙනෙකුගෙන් නිකං වැඩගන්නෙ නැහැ. ගමේ උදවියට පන්සල හදන්න ඕනයි කියල හරියන‍්නෙ නැහැ. මේ හැමෝම ජීවත්වෙන්නෙ කුලී වැඩ කරල. ගමේ උදවිය හැකි හැම වෙලාවෙම ශ්‍රමදායකත්වය ලබල දෙනවා. නැති බැරි මිනිස්සුන්ගෙන් නිකං වැඩගන්න එකත් පවක්.
තනියම හරි මං මේ පන්සල හදනවා. ගල්කඩලා, ගඩොල් කපල අත්වල කරගැට. ඒත් මේ පන්සල දිහා බැලුවම මට සතුටුයි. ආරංචි වෙන හැමෝම මට මේ වැඩේට ගඩොල් කැටයකින් හරි දායක වුණා. ඒ හැමෝටම පින්සිද්ධ වෙනවා. දැන් ඉතිරිවෙලා තියෙන්නෙ සංඝාවාසයයි විහාරගෙයයි හදන්න. ඒවගෙත් බාගෙට වැඩ ඉවරයි. මේ වෙද්දි ලැබිච්ච ආධාරත් ඉවරයි. ණ‍යවෙලා වැඩ කරන්න මට බැහැ. හදිස්සි‍යේ මගේ හුස්ම ඩිංග ගියොත් මේ පුංචි හාමුදුරුවො ණයකාරයෝ වෙනවා. ඒකට මං කැමති නැහැ.
පහුගිය දවස් ටිකේම ගල්ටික කඩාගත්තා. ගඩොල් ටිකකුත් කපාගත්තා. ගමට ලොරියක් එන්න පුළුවන් පෑවිල්ල කාලෙට විතරයි. ලොග්ගල්‍ලාඔයේ වතුර පිරුණම මාස හතක් විතර බඩු අදින්න ඕනෙ පයින්. කිලෝමීටර දහයක් විතර පයින් බඩු ගේන්න තියෙන්නෙ, ලේසි වැඩක් නෙවෙයි. පෑවිල්ල කාලෙ ඉවරවෙන්න ඉස්සෙල්ල වහලට සීට් ටිකයි, වැලි ටිකයි ගේන්න මං උත්සහ කළා. ඒත් මුදල් අතේ නැති හින්ද ඒක තවම කරගන්න බැරිවුණා. කොහොමහරි ඒ ටික කරගත්තොත් මේ අවුරුද්දෙ පිංකම කරන්න පුළුවන් වේවි.
මට වස්වසන්නවත් තැනක් නෑනෙ. දැන් ඉන්න ගොඩනැගිල්ල රජයේ එකක්. ඒ නිසා නීතිය අනුව මට වස් වසන්න බෑ. වස්වසන්නෙ නැතුව ඉන්නත් බෑ. ඒ හන්ද පිං කැමති හැමෝගෙම අනුග්‍රහයෙන් මේ අවුරුද්දෙ කොහොමරි සංඝාවාසය හදාගන්න ඕනෙ.
ධම්මානන්ද හිමියන් තුළ ඇත්තේ විශාල බලාපොරොත්තුවකි. මේ විහාරස්ථානය අප දකින මවාගන්නා තරම් විශාල වූවක් නොවේ. ඉතා කුඩා බිම්කඩක ඉදිවූ ඒ විහාරගෙය සහ සංඝාවාසය කොළඹ හා තදාසන්න පෙදෙසක බණමඩුවට වෙන්කරන බිමටත් වඩා අඩු ප්‍රමාණයකි. උන්වහන්සේ මේ වෙහෙසෙන්නේ ඒ කුඩා ගොඩනැගිලි දෙක තනාගන්නට ය. තවමත් මේ හිමිවරු වැඩවාසය කරනු ලබන්නේ රජයේ ප්‍රජාශාලා‍වක ය. ඒ තුළ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට හෝ තැනක් නැත. කොළඹ පින්කැමැති වසන්තා රණසිංහ හා පද්මා ලියනාරච්චි යන උපාසිකාවන් දෙදෙනාගේ පරිත්‍යාගයක් වූ ත්‍රිපිටකය පන්සල සතුවුව ද එය තැන්පත් කිරීමට අල්මාරියක්වත් මේ පන්සලට නැත. වගකිවයුතු බලධාරින්ට ධම්මානන්ද හිමියන් ලිපි සැලකළ ද තවමත් කිසිදු පිළිතුරක් ලැබී නැත.
“කිසිම වගකිවයුත්තෙක් මේ පන්සල හදන්න මට උදව් කරල නැහැ. නැති බැරි මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න මං ජීවිතේම කැපකරලයි කොහොනාවිලට ආවෙ. මං අපවත්වෙන්නෙ ඒ කටයුත්ත නිමාකරලම තමයි.
ධම්මානන්ද හිමියන්ගේ හිත තුළ ඇත්තේ අප්‍රතිහත වීර්යකි. උන්වහන්සේ සැබෑම බුද්ධ පුත්‍රයෙකු යයි අපට හැඟෙයි. කොළඹ සියලු සැප සම්පත් අතහැරදමා උන්වහන්සේ ගම් ගතවුනේ මේ හුදෙකලා මිනිසුන්ට පිළිසරණක් වීමට ඒකායන අරමුණ බවට පත්කර ගනිමිනි. මේ විඳින දුක්ගැහැට දෑසට පෙනෙනවිට එය පැහැදිලි ය. අප සැවොම උන්වහන්සේ සමඟ එක්වුවහොත් නුදුරු දිනෙකදී කොහොනාවල ශ්‍රී ධර්මාරාමය ඉදිවනු ඇත. මේ හුදෙකලා දුෂ්කර ගම්මානය ඒ විහාරයේ දැල්වෙන පහන්වැටෙන් ඒකාලෝක වනු ඇත.



පසු සටහන


අමතර යමක් ලියාතැබිය යුතුමය. අප අද ජීවත්වන්නේ කොළඹ හා නාගරික ප්‍රදේශවල ඉදිවන දැවැන්ත වෙහෙර විහාර අතරය. අසපු, උයන්, මහා ආරාම සුවිසල්ව අද ඉදිවෙයි. ඒවාට වැල නොකැඩී බෞද්ධයන් දන් දෙති. මුදල් වියදම් කරති. පන්සල් වෙනුවට මාලිගා තැනෙන යුගයක මෙවැනි හුදෙකලා ගම්මානයක තනිවම පන්සලක් ඉදිකිරීමට වෙහෙසෙන ධම්මානන්ද හිමියන් අපට ආදර්ශයකි. උන්වහන්සේ අවසන්වරට අපෙන් ඉල්ලා සිටියේ මේ පන්සල තනන්නට ද්‍රව්‍යමය ආධාර ලබාදෙන ලෙසටය. කිලෝමීටර දොළහක් පාගමනින්ම යායුතු මේ ගම්මානයට පන්සලක් උරුමකරදීමට දායක විය හැක්කේ අපටම ය. බිඳෙන් බිඳ දිය පිරී මහ වැව් තැනේනම්, කුඩා පැළෑටි මහා රූක්ෂ වී ඝන වනාන්තර තැනේනම් මේ කුඩා පන්සල තනාදීමට එක්විය යුත්තේ අපමය. අපි එක්ව ඒ කටයුත්තට මුල පුරමු. එය මහත්ඵල මහානිසංස පින්කමක්ම වෙනු නියතය. 0555653138 හෝ 071 8886002 අංක ඔස‍්සේ ධම්මානන්ද හිමියන් ඇමතිය හැකිය. වැඩි විස්තර සඳහා 0112 429245 අංකය ඔස්සේ අප ඇමතිය හැකිය.

- චතුර ගීතනාත් බණ්ඩාර

ඡායාරූප - සුසන්ත විජේගුණසේකර


1 comment:

  1. කාලෙකට පස්සේ හෝ මේක අප් ඩේට කර එක ගැන සතුටුයි යකෝ චතුවා

    ReplyDelete