 |
අසීරු ගමන් මග
|

පොළොස් මල්ල හිසින් ගත් කරුෙණ අයියා කොහොනාවලින් ගමන්අරඹන්නේ උදේ තුනහමාරටය. කිලෝමීටර දොළහමාරක දුෂ්කර කඳුකර මඟ ගෙවා උදෑසනට කලියෙන්ම මඩොල්සිමට ළඟාවීම ඔහුගේ බලාපොරොත්තුවයි. පවුලක පැතුම් හිස බර දරාගෙන හෙතෙම වන බුටැවන් මැද්දෙන් කළුවරේම කන්ද බඩගාන්නේ තනිපංගලමේය. කුඩා කල සිටම තමන්ගේ පයට ගෙවුණු රළු ගල් බොරළු පාර කරුණෙ අයියාට හොඳට හුරුය. කරුණෙ අයියා පමණක් නොව, කොහොනාවල නම් හුදෙකලා ගම්මානයේ වෙසෙන බොහෝ ගැමියන් තම තමන්ගේ කුඩා ගෙවත්තේ ඵලදාව එක්කරගනිමින් දෛනිකව මඩොල්සිමට පැමිණෙති. පොළොස් ගැටයක්, වරක ඉරුවක්, කිරිඅල මුලක් හෝ කැලෑ කොළ මිටියක් රැගෙන කඳුකර මාවතේ කිලෝමීටර දොළහක දුර පාගමනින් යන මේ වැසියෝ එදා දවසේ ජීවිතය සැලසුම් කරන්නේ තම තමාට එදිනෙදා ලැබෙන මුදල මතය.කෘෂි කර්මාන්තය ප්රධාන ජීවන වෘත්තිය කොටගත් කොහොනාවල ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්රික්කයේ මඩොල්සිම නගරයට කිලෝමීටර දොළහක දුරිනි. ප්රධාන නගරයේ සිට මඩොල්සිම තේ වතුයාය හරහා වැටී ඇති දුෂ්කර පටු දිගු කඳුකර මාවතෙහි පා ගමනින් පමණක් ළඟාවිය හැකි මෙම ගම්මානය අතිශය සුන්දර ස්වයංපෝෂිත දිවියක් ගතකරන ගැමියන්ගෙන් සැදුම්ලත් එකකි. තම තමන්ගේ කුඩා ගොවිබිම්වලින් නෙළාගන්නා ඵලදාව රැගෙන දිනපතාම මේ අවිහිංසක ගැමියෝ කිලෝමීටර දොළහක ගිරි මඟ තරණය කරති. ඔසවාගත හැකි උපරිම බර හිසමත දරාගනිමින් ගමන අරඹන ඔවුහු මඩොල්සිමදී ඉල්ලන මිලට තම අස්වැන්න විකුණා නැවත ගමට පැමිණෙන්නේ ෂොපින් උරයක දමාගත් බඩු ස්වල්පයක්ද අතැතිවය. ඔවුන්ගේ දෛනික ජීවිතයේ පැය හතක් ගෙවෙන්නේ ගමනටය. එතරම් දුෂ්කර ගමනක් ගතවන දිනයේ අවසානයේ ඔවුන් උපයන මුදල උපරිම වශයෙන් රුපියල් පන්සියයට වැඩි නැත. තමාගේ එදාවේල සරිකරගන්නා මේ ස්වයංපෝෂිත ගමෙහි සුන්දර මිනිසුන් නැවත ගම්වදින්නේ හැන්දෑව ද දෝත දරාය.