Tuesday, January 7, 2014

දමිතා අබේරත්න සීගිරියේ මතක අතර

              

ඒ ආදරයේ උණුසුම මට තවමත් දැනෙනවා

සේයාරුව - ටෙනිසන් එදිරිසිංහ  



ඈ කවුරුත් එකලෙස ආදරය කරන දමිතා අබේරත්න ය. රංගන ලොවට පමණක් නොව මුළු කලා

ලොවටම දිදුලන සුපුන් සඳක් සේ වැජඹෙන දමිතා පිළිබඳ මේ දිනවල වැඩිවශයෙන් කතාබහට

ලක්වෙන්නේ ‘සසර සරණී’ ටෙලි නාට්‍යය නිසාමය. නිළියක ලෙස ප්‍රතිභාව පෑ දමිතා සසර සරණී හරහා

අධ්‍යක්ෂණයේ සුබ නව මං පෙතකට පිවිස සිටින්නීය. සසර සරණී නරඹන සැමට දමිතාගේ අදියුරුකම්

හි ඇති ප්‍රතිභාව පිළිබඳ නැවත නැවතත් කිවයුතු නොවේ.

අප සැමදා කතා බහ කරන්නේ දමිතා අබේරත්ත නම්වන නිළිය සමඟය, නැතහොත් ගායිකාව සමඟය.

අද අප හමුවන්නේ දමිතා අබේරත්න නම් අධ්‍යක්ෂවරියයි.


දමිතා, ටෙලි නාට්‍යය විකාශය වෙන්නට වසර පහක් විතර ගතවුණා. ඇයි මෙච්චර ප්‍රමාද වුණේ ?

ඇත්තටම ඒකට හේතුව මගේ ප්‍රමාදයක් නොවෙයි. මම ටෙලි නාට්‍යය භාරදීල බොහෝ කාලයක් ගත

වුණා. ඒත් විකාශය වුණේ නැහැ. මට පසුව භාරදුන් ටෙලි නාට්‍ය විකාශය වෙනවා මම ආසාවෙන්

බලන් හිටියා. කවදාහරි මගේ ටෙලි නාට්‍යයත් විකාශය වේවි නේද කියලා මට හිත කිව්වා. ඇතුගල

මහත්මයා ඉන්න කාලේ මෙම ටෙලි නාට්‍යයට 8.30 විකාශන කාලය ලබා දුන්නා. මං දන්නේ නැහැ

ඇයි මෙච්චර කල් ගතවුණේ කියලා. ඒ වගේම දැනගත්තත් ප්‍රසිද්ධියේ කියන්න බයයි.

නමුත් නිර්මාණයක් කරන කෙනෙක් මරල පැත්තකට කරන එක වැරදි පූර්වාදර්ශයක්. නමුත් මට මේ

නාට්‍යය කවදා හරි විකාශය කරන්නට ලැබිම ගැන හිතේ තියෙන්නේ උතුරා පිටාර ගලන

සන්තෝෂයක්. ඒ සතුට මට ගෙන දෙන්නට උදව් කළ අයත් කියන්න බයයි. මොකද අද හැමෝම

බලන් ඉන්නේ කතා හදන්න මිසක් උදව් කරන්න නෙවෙයි.



මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදිකාවත් ඔබ...

දමිතා සිල්මැණියක වී

ඔව්.. මං වගේ නිළියකට තිබුණු සියලුම සේසත දාලා ටෙලි නාට්‍යයක් හදලා වසර පහක් බලන් ඉන්න

වුණා කියන්නේ සෙල්ලමක් නොවෙයි. මොකද අපිට එහෙම සල්ලි ගලාගෙන එන මාර්ග නැහැ. මේ

නිර්මාණය කරපු කිසිම කෙනෙකුට මං ණය වුණේ නැහැ. ඒ නිසා මේ බර මං තනියම කරගහගෙන

හිටියා. කාටවත් ණය නැතුව නිර්මාණයක් කරනවා කියන්නේ අද කාලේ ලේසි නැහැ.



ඔබ තෝරා ගත් කතා තේමාව ඉතා වෙනස් ...


ඔව්. මං තෝරා ගත්තේ සමාජයට ගෝචර ඉතා සියුම් මාතෘකාවක්. ලෝකයම බිළිගන්නා ව්‍යසනයක්

වන ඒඩ්ස් රෝගය සහ බුදු දහම ගැන තමයි මේ කතාවේ රූපයට නැෙඟන්නේ. මං හිතනවා ඒ

මාතෘකාව ප්‍රේක්ෂකයන්ව තදින්ම ඇද බැඳ තබාගත්තා කියලා. හොඳ දේවල් මිනිසුන්ට ලැබෙන්නේ

පරක්කු වෙලා. ඒ නිසාම වෙන්න ඇති මගේ නාට්‍යයත් පරක්කු වුණේ.

මේ ටෙලි නාට්‍යය රූගත කෙරුණේ සීගිරියේ...



ඔව්.. සීගිරියේ රෝහල තමයි මූල් කරගත්තේ. මං මුලින්ම පොරොන්දු වුණා රෝහලේ

වැඩකටයුතුවලට බාධාවක් නොවන අයුරින් රූගත කිරීම් සිදුකරන්න. ඇත්තටම වුණේ අනෙක් පැත්ත

රෝහලේ කාර්යය මණ්ඩලය අපට බාධාවක් නොවන පරිදි තමන්ගේ කටයුතු කරගෙන ගියා.

ඇත්තෙන්ම මේ වේලාවේ සීගිරිය රෝහලේ කාර්යය මණ්ඩලයට මගේ හදපිරි ප්‍රණාමය පුදකළ යුතුයි.


ඒ වගේම සීගිරිය ගම් වාසින්ගෙන් ලැබුණේ පුදුමාකාර සහායක්. ඇතැම් අය තමන්ගේ කොටුවලින්

නෙළාගත්තු එළවළු උයලා අපට ගෙනත් දුන්නා. සමහරු බත් පාර්සල් හදල එවලා තිබුණා. මිනිස්සු

මිනිස්සුන්ට කොච්චර ආදරේද කියලා මට තදින්ම දැනුනේ සීගිරියෙදී.

සීගිරියට ගිහින් ෂූටින් පටන් ගත්ත ගමන් වහින්නත් පටන් ගත්තා. කරකියා ගන්න දෙයක් නැතුව අපි

අහස දිහා බලාගෙන හිටියා. ඉස්පිරිතාලෙ ඉස්සරහ ගෙදර ඉන්න බොහොම සිරියාවන්ත අම්මා

කෙනෙක්. ඒ අම්මා මාව එක්කරගෙන ගිහිං ගම්බාර දෙවියන්ට බාරයක් වුණා. වැස්ස කොහේ ගියාද

දන්නේ නැහැ. ආයේ දවස් හතකින් හරියටම වැහි ආවා. ආයෙත් බාර වුණා. ආයෙමත් වැහි නැවතුණා.

ඒ අම්මා මාව බලාගත්තේ දරුවෙක් වගේ. ඇත්තටම ඒ ආදරයේ උණුසුම මට තවමත් දැනෙනවා.

මෙම ටෙලි නාට්‍යය හරහා ඔබ අධ්‍යක්ෂිකාවක් බවට පත් වෙනවා?


ඔව්, මගේ වෘත්තිය රංගනය. නමුත් මට ටෙලි නාට්‍යයක් හදන්න වුවමනා වෙලා තිබුණා. මේ ටෙලි

නාට්‍යය හදන්න මං භාර දුන්නේ වෙනත් අධ්‍යක්ෂවරයකුට. ඒ අතරතුර මං දර්ශන තල බලලා ඒවට

අවශ්‍ය කටයුතු සූදානම් කළා.

අවසානයේ ඒ අධ්‍යක්ෂවරයා කාර්යබහුල වෙලා නාට්‍යය කල් දමන්නට සූදානම් වුණා. ඒත් ඒ

වෙනකොට අපි බොහෝ දේ සැලසුම් කරලා ඉවරයි. මේ කතාන්දරයේ පිටපත ලියූ වෛද්‍ය දයානාත්

රණතුංග මහත්මයා. කිව්වා ඔයාම මේක ඩිරෙක්ට් කරන්න කියලා. මමත් ඒකට එකඟ වෙලා වැඩ

පටන් ගත්තා.හැමෝගෙන්ම ලැබුණේ පුදුම සහයෝගයක්. තේ හදන මල්ලිගේ ඉඳලා ප්‍රධාන නළුවා දක්වාම මට

දුන්නේ පුදුම සරල සැහැල්ලු බවක්. කිසිම වෙලාවක කවුරුත් මොනවත් ඉල්ලුවෙ නැහැ. සීගිරියට

ආවම යන්නේ කවදද ඇහුවේ නැහැ.

ඒ නිසාම මං බොහොම සුන්දරව නිරවුල් මනසින් අධ්‍යක්ෂණ කටයුතු කළා. ඒත් ෂූටිං තිබුණු දවස්

47ටම මං පැය 4ක් නිදා ගන්න නැතුව ඇති. මට මහන්සිය දැණුනේ නෑ. ඒත් සියුම් බයක් හිතේ තිබුණා.

මේ ප්‍රමාදය ගැන කලකිරීමෙන් ද ඉන්නේ ?



කලකිරීමක් නොතිබුණාම නොවෙයි. ඒත් ලෝකය ලබා දෙන දෙය අප ..... භාර ගත යුතුයි. ඒ තිබුණ

කලකිරීම් සියල්ලම ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පහවෙලා යනවා. මං හිතනවා මට හැමදේම ලැබෙන්නේ හොඳම වෙලාවට කියලා.

ඉදිරියේදී ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද ?

නිල්මිණි සහ දමිතා


තියෙනවා. හොඳ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න හිතේ ලොකු ආසාවක් තියෙනවා. ඒත්

නිෂ්පාදනයකට අතගහන්න අදහසක් නැහැ. මොකද මේ තියෙන තත්ත්වය අනුව මුදල් යට කරලා

කොච්චර කල් බලන් ඉන්න වෙයිද කියලා මට හිතා ගන්න බැහැ.

විවිධ බලයන් අනුව තමයි ටෙලි නාට්‍ය විකාශය වෙන්නේ. මං සාධාරණ ඉල්ලීමක් කරන්න කැමැතියි. බලපෑම් එල්ල කරන පුද්ගලයන් මේ කලා කටයුතුවලදීවත් ඉවත් වෙනවා නම් ලොකු දෙයක්.

ඉදිරිය කොහොමද ?



රංගන කටයුතුවලට දායක වෙමින් කාලය ගෙවනවා. ඒ වගේම ගායන කටයුතුත් දිගටම කරගෙන

යනවා. ලබන වසරේ විදේශ සංචාර කිහිපයකුත් තියෙනවා. ටෙලි නාට්‍යයේ හොඳ ප්‍රතිචාර විඳීමින්

කාලය ගෙවනවා.

චතුර ගීතනාත් බණ්ඩාර

3 comments:

  1. එළම තමා චතුර ලියමු ලියමු දිගටම ලියමු

    ReplyDelete
  2. මං ආසම නිලියක්..ස්තුති ලියා පලකිරිම ගැන

    ReplyDelete