Tuesday, December 24, 2013

කට්ටිය සුදානම්ද පට්ටිය වරායෙන් ගොඩවායට ගොඩවෙමු


මේ නිලඹර දිග අතුළ හරිත වියළ අතරින් පෙරඹර හිරු රැස් වෑස්සෙන සුන්දරත්වයේ පෙරවරුවයි' පෙරදා රාති‍්‍රයේ බට මද වැස්සෙන් නව ප්‍රාණයත් ලද තුරු වදුල ගඟ දිය මත සෙවනැල්ලක්ව වැතිරී අදින අපුරු සිතුවම ගඟ දියවර සමඟ උස් පහත් වන්නේ තැන්වසයක පරිද්දෙනි. ඈත අහසේ මිලිනවන සඳත් මෑත ක්‍ෂිතිජයෙන් තරමක් ඈත්ව විකසිතවන නව හිරත් අතර මා මේ සුන්දරත්වයේ අපුරු සිත්තම් නෙත් කූඩයට එකතු කරමි'

මා ඉදිරියෙන් අද තවමත් උපශාන්තව ගමනේය. අති පාරිශුද්ධ සමනොල ගිරි සිරසින් ගමන ඇරඹු ඇයට තවමත් විඩාවත් නැති ගානය. විවිධ තරාතිරම්වල මිනිසුන්" සතා සීපාවුන් සමඟ ගැටෙමින් අනේකවිධ මල් වල සුවය සුවඳ විදිමින් ආ මේ ගමන අද මේ වනවිට හොදහැටි තේරුම්ගත් ගානය. අද කිලෝමීටර එකසිය තිස් අටක් සියළු දන වෙත සිහිල බෙදමින් පැමිණි ගමනේ අවසන් කිලෝමීටර එකහමාර ගෙවමින් හිදින්නීය. සෞම්‍ය නිල් දිය රැලිති ඒ මේ අත වපුරුවමින් අද ඉදිරියට ඇදෙන්නේ සතුටු සිතිනි'


තව විනාඩි කිහිපයකින් වලවේ ගං කොමලී සයුරු කුමරු අත ගනු ඇත' එනිසා වලවේ කුමරී හිත පිරී සතුටිනි'ගිරි දුර්ග  සානු බඩවැටි නිම්න තැනිතලා පසුකරමින් සයුරු කුමරු සොයා වලවේ ගං කොමලිය බොහෝදුර ගෙවුවාය. ඈ සදාතනික පේ‍්‍රමයේ ජීවමාන කැඩපත සයුරු කුමරු සොයමින් තනිව ගමන් ඇරඹුවාය' දැන් ඒ ගමනේ අග භාගයයි'ව නොබෝ වේලාවකින් ඒ උත්තරීතර පවිත්‍ර පේ‍්‍රමය ජයගන්නේ ගොඩවාය නම් සුන්දර වෙරලේදී වලවේ ගං කොමලියත්, සයුරු කුමරුත් එකිනෙකා එක්වෙමින් සිප වැළද ගැනීමෙනි'

සමුදුරු කුමරු හමුවන්නට තව ගත වන්නේ කෙටි කාලයයි දැනගත් සැනෙන් වලවේ කුමරිය සතුටින් උමතුව මැවු සිරි අසිරිය කොතෙක්දැයි නරඹන්නට දැන් සුදානම් වන්න' වලවේ ගං කොමලියත් සයුරු කුමරුත් අතිනත ගන්නා මොහොතේ සිරි අසිරිය බලන්නට අනාරාධිතව අපි ගොඩවායට ගොඩවෙමු'
'ලයිෆ් ජැකට් ටික දාගෙන ගොඩවෙමු"
සිරිසෝමගේ කරුණික විධානය අපට ගෙන දුන්නේ අපිරිමිත සතුටකි' මීට පෙර අන්තර්ජාල ජායාරූප කිහිපයකින් දැක තිබු මේ සෞම්‍ය චාරිකාව තව නොබෝ වේලාවකින් ඇරඹෙනු ඇත' කතිකා කරගත් පරිදි උදෑසන හත වන විට වාදුරුප්පුව පට්ටිය වරාය තොටුපළට පැමිනීමට හැකිවීම අපේ ජයග්‍රහණයකි' කොලොම්පුරෙන් රත්නපුරයටත් රත්නපුරයෙන් ඇඹිලිපිටිය හරහා නෝනාගමටත් පැමිණි අපි අම්බලන්තොට රෝහල පාරේ වාදුරුප්පුව පහුකොට පට්ටියවරායට පැමිණි රාතී‍්‍ර ගමන දීර්ඝමිහිරි එකකි' කෙනෙකු කොළඹ සිටම නිදිසුවයෙන් පැමිණි මේ ගමන තවකෙකු නොනිදාම පහන් කලේය' කෙසේ හෝ මේ කුරුලු රජදහනට කාටත් පෙර ඇතුළු වීමටගත් අපේ උත්සාහය දැන් සාර්ථකය'
අපේ ගමන එක් අතකට කිලෝමීටර හතරකට නොවැඩිය' ඒ නිසාම බෝට්ටුවට පටවාගත් වතුර බුලියත් උදෑසන ආහාර බෑගයත් අත්‍යවශ්‍ය වේයැයි සිතෙන කෑම බීම වර්ග කිහිපයකුත් හැර අනෙක් සියල්ල වාහනයේ තැබීමට අපි වග බලා ගත්තෙමු'


ජීවිත ආරක්‍ෂක කබා හරිහැටි පලදාගත් අපි පට්ටිය වරායේ සිට ගොඩවායට යන ගමන සුවදායීව ඇරඹීමු' මීට පෙර කිසිදු සංචාරයක මා නොදුටු අපුරු පරිසර පද්ධතිය පෙනෙන්නට පටන්ගන්නේ පට්ටිය වරාය තොටුපලෙන් බෝට්ටුව දියත් වීමත් සමඟය. එතෙක් මෙය සාමාන්‍ය බෝට්ටු සංචාරකයයි සිතා සිටි ඕනෑම අයකුගේ සිතට බෝට්ටුව දියත් වී විනාඩි කිහිපයක් ගත වන්නට දැනෙන්නේ වෙනස්ම වු පහන් හැගීමකි.

අලංකාර ලා කොළ පැහැති ලතා විශේෂ වලින් ආවරණය වු රූස්ස තුරු මුදුන් සැබෑවටම සුපිරි ගෙඋයනක අඛණ්ඩව පාලනය කරනු ලබන හැඩතල වලට තැනු විසිතුරු තුරු වැනිය' වල්මිදි සහ සයුරේමියා ති‍්‍රපෝලියා යන වැල් විශේෂ වලින් ආවරණය වු මේ තුරු වදුල සිත්තරකුට නිමාවක් දැකිය නොහැකි අලංකාර වස්තුබීඩ කැටිකොට ගත් අමිල දුලබ සිතුවමකි'

නේකවිධ තුරු ලතාවන් වලින් ගහන මේ ගං ඉවුර දිග දෙපස විටින් විට හමුවන අලංකාර කැලෑ මල් වර්ග පරිසරයට එක් කරන්නේ උතුරා පිටාර ගලන අලංකාරය කැටිකොට ගත් සුගන්ධයකි' ඒ අතර තුරු සිරසේ ගං දිය තලයේ මෙන්ම කිරල ඉත්තක නිසොල්මනේ ලැගුම්ගන්නා ජලජ පක්‍ෂියෙකු ආගන්තුක අප දැකීමෙන් බිවය අහසට නැගෙන දර්ශනය අපටද ආගන්තුකය. එනිසාම ඒ දර්ශනය අපට ගෙන එන්නේ වින්දනාත්මක සන්තෝෂයකි' බෝට්ටුවෙහි ඉදිරි කොටස ජලයේ හැපෙත්ම පලායන දියකාවුන් රංචුව ඊළඟ මොහොතේ ලුණුමිදෙල්ල කොට පේලියේ තමාගේ සුවපහසු සුපුරුදු නවාතැන සකසා ගනී. ළහිරු මඩලින් ප්‍රතාපවත් වන දියවර මත පාවයන නේකවිධ මල්පෙති මත වෑස්සෙන තරුණ හිරු කෙදිති ඉදහිට පෙද ගුලියට එබිකම් කරයි' පරිසර ගවේෂකයකුට සොබාදහම හදුනන්නකුට මෙන්ම වින්දනීය හදවතකට උරුමකම් කියන නිස්කලංක මනසකින් ලොව දකින ඕනෑම අයකුට භාවනාවකට සමවැදීමට මේ බිම සැබෑම ආශ්‍රමයකි'

ඉතාමත් ඉහළ පාරිසරික වටිනාකමක් ඇති මේ පරිසර පද්ධතිය තුළ ජලය ආශ්‍රිත පක්‍ෂීන් බොහෝ ප්‍රමාණයක් නිරීක්‍ෂනය කිරීමට ඉඩ හිමිවෙයි. අහිතාවා සුදුමැදි කොකා මහකොකා ඇලි කොකා අළු කොකා පලාකොකා රෑකොකා කහබොර මැදි කොකා මෙන්ම ණ කොකුන්ද මේ ගමනේදී ඔබට මට හමුවෙයි' එමෙන්ම හිස කලු දෑකැත්තා ආසියා විවර කුඩුවා දියකාවා කුස ඇලි සයුරුපියා උකුස්සා රජ අළු හිස් මසුරු පියා උකුස්සා සර්ප පියා උකුස්සා මෙන්ම බමුණුපියා උකුස්සාද අඩු වැඩි වශයෙන් මේ ගමනේදී නිරීක්‍ෂණය කිරීමට වරම් ලැබේ' ඇතැම් විටදී කැමරාව මාන ගැනීමට පෙර හීතුඩක වේගයෙන් තුරු සිරසක සිට අදුරු ඈත තුරු වදුලක් වෙත පියාසරන මේ පක්‍ෂීන් ඈත සිට අපේ නිහැඩියාව බලා හිදින්නේ ඔවුන්ගේ රජ දහන තුළ අප වැරුදිකරුවන් බවට පත්කරලමිනි'

සැබෑවටම මෙය විනෝද ගමනකි' නමුදු කෑකෝ ගසමින් ගීත ගයමින් විසිල් නඳ පතුරුවමින් යා නොහැකි මේ ගමනේ ඔබට විනෝදය ආශ්වාදය ගෙන එන්නේ ක්ෂණිකව දියවර මත පාත්වන පක්‍ෂියෙකි' අනේපේක්‍ෂිතව දියෙන් මතුවන දියකාවෙකි' නැතහොත් උඩුගම් බලා පීනන දියබරියෙකි' නිහඩවන්න' ඔබේ නිහඩතාවය මත හදවතට දැනෙන වින්දනය ආනන්දය මෙන් සුවදායී පහන් හැගීම කොතරම්දැයි ඔබටම දැනේවි'

ඔවුන්ගේ රාජධානියට ඇතුළු වී ඔවුන්ගේ අලංකාරත්වය තුළ වින්දනය ලබමින් ඔවුනට බාධා කිරීම වෙනුවට අපි යටහත්ව පහත්ව ඉදිරියටම ඇදෙමු' පක්‍ෂීන්ගේ රජ දහනක් ලෙස පරිසරය පිළිබඳ උනන්දු කාගේත් අවධානය දිනාගත් මේ වලවේ මිටියාවත කඩොලාන ශාඛා පිලිබඳ අධ්‍යනය කරන්නෙකුට හොඳ විශ්ව විද්‍යාලයකි. කිරල "තිල්ලන්" කටු ඉතිරිය"  වල් සුරිය, කුඹුරු" ලුණුමිදෙල්ල මෙන්ම වල්දෙල් වැනි දුලබ ශාඛ මේ ගමනේදී නියත වශයෙන්ම හමුවනු ඒකාන්තයි'

එමෙන්ම නිල දියමත නීලහරිත පලසක් මවන කංකුන් හම්බු මෙන්ම නොයෙක්විද පලාවර්ගද ඉදහිට තැන තැන හමුවන ජපන් ජබර මල්ද මේ පරිසරය අපදුටු වෙනත් පරිසර පද්ධතීන්ගෙන් සුවිශේෂ කරන සාධකයක් වෙයි'

උදෑසන හට ඇරඹි ගමනේ දැන් හරි අඩකට සමාන දුරක් ගෙවී ගොසිනි' ගොඩවාය දෙසින් හමා එන නැවුම් තෙත බරිත සුලගත් දෑල දෙසින් ඉපදෙන නෑඹුල් වියලි තුෂර මිශ්‍ර සුලගත් එක්ව ගත සමාධියට පත් කරයි' ගමනේ මධ්‍යයේදී හමුවන වවුල් කැලය ද වෙනස්ම හැඩතලයක් ගත් අමුතුම තාලයේ අත්දැකීමකි. බෝට්ටුවෙහි එන්ජිමෙහි හඩට තිගැස්සී අහසට නැගුණු වව්ලන් සිය ගණනක් මංමුලා වුවන් සේ තැන තැන වසුරු හෙලමින් ඉගිලෙන අයුරු අපි මහා වේලාවක් දැහැන් ගතව බලා උන්නෙමු' උඩ ඉගිලෙන වව්ලන් මෙන්ම පහල දැලේ ඒ මේ අත දුවන වදුරන්ගේ උසුළු විසුළු ද සංචාරක අපට සැබෑම විනෝදයකි'

'බාල අයියේ'''''''' ගොඩවායට දිහාට යන්නෙයි කියලා"

එවර සිරිසෝම බෝට්ටුව මදකට නවතා වලව නදියේ ඉහත්තාව වෙත ඇදෙන ඔරුකරු සමඟ සුහද කතාවක වැටුනේය' සිරිසෝම සමඟ කතාව අවසන් කල ඔරුකරු අව්‍යාජ ගැමි නිරහංකාර සිනහවකින් අපටද සංග්‍රහකොට සමුගත්තේ ගමනට සුබ පැතුමක්ද එක් කරලමිනි'සිරිසෝම වලව නදී පාරිසරික සංවිධානයේ සභාපතිවරයාය. ඔහු මේ පරිසර පද්ධතිය පිළිබඳ හසල දැනුම ඇත්තෙකි' ග්‍රාමීය වශයෙන් සංවිධානය වු වලව නදී පාරිසරික සංවිධානය මේ ගමනේ මගපෙන්නන් සහ සංවිධාකයන්ය. ගමන සඳහා අවශ්‍යය ජීවිතාරක්‍ෂක කබා දුරේක්‍ෂ මෙන්ම අනෙකුත් උපකරණ ඔවුන් සතුය' එනිසාම මේ ගමන අධ්‍යාපනය නො අඩුව ලැබිය හැකි සුවපහසු චාරිකාවකි'

වවුල් කැලය සන්සුන් වුයේ අප ඒ ඉසව්ව පසුකොට බොහොදුර ගිය පසුවය' අහස් කුස දිග කලුපැල්ලම් මෙන් එහා මෙහා වියැඹු වවුල් රංචුව දැන් තුරු තරම් අතරේ සුවදායක නිද්‍රාවකය' වරින් වර හමුවන කුරුල්ලන් දුරේක්‍ෂයෙන් නිරීක්‍ෂණය කරමින් ඔවුන් පිළිබඳ විස්තර අසා දැන ගනිමින් අපි ගං දෑලේ සිරි අසිරියත් දියවර සිතුවම් මෙන්ම පැහැබර අහස් වියලේ මනමාල සිරියක් විදිමින් ඉදිරියටම ඇදුනෙමු'

දැන් මංගල්ලයේ සිරි අසිරිය ලං ලංව පෙනෙයි' මංගල ගමනට සැරසුණු වලවේ ගං කොමලී තමාගේ වේල්පට මුදා හැර සයුරු කුමරු හමුවීමට බලා හිදී' ඒ වේල්පට මත ඉදිරියට ඇදෙන අපි ඇගේ මනමාල කෝමල හිනාවෙන් වශීකෘත වී සිටින්නෙමු' ඇගේ වේල්පට මතට වෑස්සෙන හිරු රැස් මවන අමුතු මුතුරටා දැන් තවත් දීප්තිමත්ව බබළයි'මංගල උත්සව චාරිත්‍රයකදී පෝරුවට ගොඩවීමට ප්‍රථම දෙපස හිඳ කෝමල සිනාපාන මනාලියක සහ මනාලයකු පරිද්දෙන් වලවේ ගං කොමලියත් සමුදුරු කුමරුත් දෙපසට වී බලා හිදින අසිරිමත් දසුන සැබෑවටම මේ මොහොතේ ද මගේ සිතේ ජීවමාන වෙයි'දෙදෙනා එක් කිරීමට බලා හිදින ගොඩවාය සමුදුරු වෙරළ රන්වන් පැහැයෙන් දිදුලන්නේ රන්මුවා පෝරුවක පරිද්දෙනි'

සැබෑමටම ගොඩවාගේ සමුදුරු තීරය අපේ රටේ වෙරළ අතරින් වෙනස්ම වු එකකි. තද රන් කහ පැහැයෙන් දිදුලන මේ වැලිතලාව අවුරශ්මිය හා හාදව දීප්තිමත්ව බැබළෙයි' මේ අසිරිමත් වෙරළෙහි වම්පස විරාජමානව වැජඹෙන යෝද ගල් කුළු පරිසරයට එක් කරලන්නේ ගාම්භීර ප්‍රතාපවත් බවකි' ඈතින් පෙනෙන ගොGපබ්බ;dරාමය මේ පරිසරයේ ශාන්ත බවට එක්කරලන භක්තිමත් බව එහි යන සංචාරකයකුට දෑස් අභිමුවෙහි විදීමට හැකිවෙයි'

අප දැන් මේ පිවිස සිටින ගොඩවාය ලංකා ඉතිහාසයේ වෙළද ගනුදෙනු පිලිබද පරිච්ජේදයේ ප්‍රබලතම කේන්ද්‍රස්ථානයකි' අපේ පළමු අන්තර්ජාතික වෙලෙද ගනුදෙනුව සිදුවු වරාය ලෙස ඉතිහාසයේ කියැවෙන්නේ ගොඩවායයි' ඒ අනුව බලන විට අපේ රටේ පළමු වරාය ගොඩවාය වීමේ සාධක ඕනෑතරම්ය'

ගොඩවායට නුදුරේ පිහිටුවා ඇති ගොGපබ්බ;dරාමය  ගොඨයිම්බර යෝධයා විසින් ඉදිකරවන ලද බව ජනවහරේ කියැවෙයි. මෙම විහාරයේ සෙල්ලිපියකට අනුව 'වරායට සේන්දුවන සෑම keවlsන්ම ලැබෙන මුදලින් කොටසක් විහාරයේ දියුණුව වෙනුවෙන් පුජා කල යුතු බව ගජබා රජතුමා අණ කොට තිබු බවට සොයාගෙන තිබේ' මේ සාක්‍ෂි අනුව මෙම ස්ථානයේ පෙර රජ දවස ඉතාමත් සශී‍්‍රක ගනුදෙනු සිදුවු වරායක් තිබු බවට නිගමනය කිරීමට හැකිවෙයි'

පුළුල් පටියක් සේ දිවෙන රන් කහ වැලි තලාවේ වැතිරී අපි බොහෝවේලා ගිමන් නිවා ගත්තෙමු'බිදෙන් බිද නදී ජලය සිදුදිය සමඟ එක්වන අසිරිමත් දසුන පුදුම උපදවන සුළුය' මේසා විසල් ගඟ දියවර ඉතාමත් මන්දගාමීව සමුදුරු දියවර සමඟ ගැටෙයි'

වැලි තලාවේ අඩදැනීම අපි මහා හුඟ වේලාවක් සමුදුරු දියවර සහ ගං දියවර අතිනත ගන්නා අයුරු බලා උන්නෙමු' මේ අප ඈදිගෙන ඉන්නා වැලි තට්ටුවද පාරිසරික අතින් මෙන්ම දුර්ලභත්වයෙන් ඉතා ඉහල අගයක් ගන්නා එකකි. එසේත් නැතිනම් වටිනාම ඛණිජ වැල්ලකි' ඉල්මනයිට්" රූgයිල් මෙන්ම සර්කෝන් වලින් අනුන මේ වැල්ල ලෝකයේ අති දුර්ලභ ඛණිජ එකතුවකි'

වැලිතලාවේ හිදි ක්‍ෂතිජ රේඛාව දෙස බලා හිදිද්දී මහිතෙහි දහසක් සිතිවිලි මැවෙයි' රුවල් නැව් පැමිණ රන්මුතු මැණික් ඇත්දත් වෙලදාමේ යෙදෙන ගොඩවාය වරාය මසිතේ සිතුවම් වෙයි' දෑත තෙක් දිගු සුදු තබා ඇදගත් හිස තම්බායෙන් වසාගත් අරාබි වෙලෙදුන් නොයක්විධ වෙලෙදාමේ යෙදෙන අයුරු චිත්‍ර සියගණනක් මගේ උඩුසිතේ චලනය වෙයි' ඒ මොහොතේ මේ බිමේ ඉන්නා මා පින්වන්තකයකු යැයි ද මට හැගෙයි'

දැන් නැවත පිටත්ව යන්නට වෙලාව පැමිණ තිබේ' නැවතත් මග දුර ගෙවා අප යා යුත්තේ පට්ටිය වරායටය' පට්ටිය වරාය වසර දෙසීයක ඉතිහාසයකට හිමිකම් කියනු ලබන පාරම්පරික මා දැල් ධීවර වරායකි'අපි කතිකාකරගත් පරිදි උදෑසන ආහාරවේල රැගෙන අප පට්ටිය වරායේ ධීවර මඩුවකට යා යුතුව තිබේ'පට්ටිය වරායේ ආගන්තුක වින්දනය ලබමින් උදෑසන ආහාරවේල ලබා ගැනීමෙන් අනතුරුව අපි නැවත ගමන ඇරඹිය යුතුව තිබේ'

' යන ගමන් අම්බලන්තොටින් නෝනාගම පැත්තට ගිිහිං ගිරිහඩු සෑයත් වැදලාම යන්න"

අම්බලන්තොට නගරයට ආසන්නව පිහිටුවා ඇති ගිරිහඩු සෑය ද ඓතිහාසික වටිනාකමින් යුතු පුදබිමකි'  මාහානාග රජතුමා විසින් කරවුවායැයි සැලකෙන මේ පුදබිම සහ iEh අම්බලන්තොට නගරයට පැමිණෙන සියලු ජනී ජනයාගෙන් වන්දනාවට පාත්‍රවෙයි' මේ පුදබිම තුළ සිදුකරනු ලැබු කැනීම් වලදී අවලෝකිතේෂ්වර නාථ පිළිමයක ශීර්ෂය හමුවී ඇති අතර සිදුහත් කුමරුන්ගේ අභිනික්මන විදහා දැක්වෙන සියුම් ගල් කැටයමක්ද හමුවී තිබෙයි'

ගිරිහඩු වෙහෙර පිළිබඳ නොගැඹුරු තොරතුරු කිහිපයක් සොයාගත් අපි නැවත වලවේ නදියේ ගැඹුරු දියවර මත දැහැන්ගත වුනෙමු'

දැන් නැවතත් අප පැමිණි ආනන්දනීය මඟ ගෙවා පට්ටියවරායට ළගාවිය යුතුය'

තවත් මේ ගමනක ඇරඹුමකි ''''''''''''''''''''''''''''''''

සැබෑමටම තවත් සොදුරු අමිල ගමනක ඇරඹුමකි'

ඔබටත් මේ ගමන යන්න එන්න පුළුවන් අපිත් එක්ක



                    රිදී නදී ගලා බසී දිය රැළි             නංවා
                    සිදී නොදී අපේ හිතේ පෙම්රැලි        නංවා
                    හරිත විලේ නිල් උකුලේ තව මල්       නංවා
                    රිදී නදී චිරත් කලක් ගලා              බසීවා

                             සඳ එලියේ මල් සුවදේ නදී             තලාවේ
                             සිදු දියවර අතගන්නට ඇවිත්          මුලාවේ
                             පේ‍්‍රමනීය මනෝ රම්‍ය මේ            හැන්දෑවේ
                          අහස් කුසේ රන්වන් රන් මල්         පිපුනාවේ










                                                                                     

                                                     චතුර ගීතනාත්




2 comments:

  1. පට්ට කතාව

    ReplyDelete
  2. නියමයි චතුර මේ සටහන් ඉතා වටිනවා

    ReplyDelete